චීන ණය මකරා සමග මහින්දගේ ආලිංගනය – (නිව්යෝක් ටයිම්ස් ලිපියේ සිංහල පරිවර්තනය)

0
146
හම්බන්තොට වරාය සඳහා ඉතා ඉහළ පොලියට චීනයෙන් ණය ගත්තේ දැන දැනම. 2015 මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතුවලට මහින්දට චීන වරාය ගිණුමෙන් ‘කෑෂ් චෙක්‘!මහින්දගේ ඡන්ද වැඩවලට චීනයෙන් ඩොලර් මිලියන 7.6 ක්. මැතිවරණයට දින 10කට පෙර තවත් ඩොලර් මිලියන 3.7 ක් මහින්දට. කැම්පේන් ටී ෂර්ට් ඇතුළු මුද්‍රණ වියදම්වලට ඩොලර් 678,000 ක්. ඡන්දෙ කාලෙට සාරි ඇතුළු තෑගි බෙදන්න ඩොලර් 297,000 ක්. මහින්දට වැඩ කළ ජනප්‍රිය භික්ෂුවකට ඩොලර් 38,000 ක්. අරලියගහ මන්දිරයේ ඡන්ද වැඩ කළ අයට ඩොලර් මිලියන 1.7 ක්

‘‘How China Got Sri Lanka to Cough Up a Port‘‘ යනුවෙන් ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ ලිපියේ සිංහල පරිවර්තනය

– මරියා අබි-හබීබ් විසිනි.
– ජූනි 25, 2018

හම්බන්තොට, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ, වරාය ව්‍යාපෘතිය පිළිබඳ අපේක්ෂා දල්වමින් සිය චීන මිතුරන් වෙතින් ණය ඉල්ලා සිටින හැම විටම ඔවුන්ගෙන් ඔහුට ණය ලැබුණේය.

ඔව්, ශක්‍යතා අධ්‍යයනවලින් කියැවුණේ වරාය ව්‍යාපෘතිය අසාර්ථක වන නමුත්, ඔව්, ඉන්දියාව වැනි අනෙකුත් ණය දෙන රටවල් එය ප්‍රතික්ෂේප කළ නමුත්, එසේ සිදුවිය. ඔව්, ශ්‍රී ලංකාවේ ණය, රාජපක්ෂගේ පාලනය යටතේ සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබිණි.

වසර ගණනාවක් මුළුල්ලේ සිදුකළ ඉදිකිරීම් සහ බෙයිජිං හි රාජ්‍ය හිමිකාරිත්වය සහිත විශාලතම ව්‍යවසායක සමාගම් අතරින් එකක් වන චයිනා හාබර් ඉන්ජිනියරින් සමාගම (China Harbor Engineering Company) සමග නැවත නැවතත් කථිකා කිරීමෙන් පසුව ද හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය සුවිශේෂී බවට පත්වුණේ අනාවැකි කියූ පරිදිම අසාර්ථක වෙමිනි. ලෝකයේ කාර්යබහුලම නැව් මාර්ගයක් හරහා දස දහස් සංඛ්‍යාත නෞකා ඇදී යද්දී, මෙම වරාය වෙත 2012 වසරේ පැමිණියේ නෞකා 34 ක් පමණි.

ඉන්පසු වරාය චීනයට අයිති විය.

රාජපක්ෂ හට 2015 වසරේදී ධුරය අහිමි වූ නමුත් ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව ඔහු විසින් ලබාගත් ණය ගෙවීමට වෑයම් කළේය. දැඩි පීඩනයක් යටතේ සහ චීනය සමග නැවත නැවතත් කතා කිරීමෙන් අනතුරුව දෙසැම්බරයේදී ආණ්ඩුව අක්කර 15,0000 ක් සමග අවුරුදු 99 ක් සඳහා ආණ්ඩුව වරාය චීනයට භාර දුන්නේය.

මෙම පවරා දීම හරහා සිය පසමිතුරු ඉන්දියාවට සැතපුම් දෙතුන් සියයක් පමණක් දුරින් පිහිටි අක් වෙරළ භූමි භාගයක් සහ තීරණාත්මක වාණිජ හා හමුදාමය ජල තීරයක් පාලනය කිරීමේ අයිතිය චීනයට ලැබිණි.

මේ සිද්ධිය, චීණය විසින් ණය ලබාදීම් කොතරම් අනාගත අපේක්ෂා සහගතව සිදුකරන්නේ ද සහ ලොව පුරා සිය අණසක පතුරුවන්නේ ද සහ, ඒ සඳහා ඔවුන් කොතරම් දැඩි ලසෙ කටයුතු කරන්නේ ද යන්න ඉතාම පැහැදිලිව පෙන්වා දෙන උදාහරණයකි.

‍චීන ජනපති ෂී ජින් පින් ගේ Belt and Road Initiative නමැති ආයෝජන ණය වැඩසටහන යටතේ ලෝකයේ අවදානම් සහිත තත්වයක පසුවන රටවල් කොතරම් ප්‍රමාණයක ණය උගුලකට හසු කරන්නේ ද දූෂණයකට නතු කරන්නේ ද සහ අසීරු ප්‍රජාතන්ත්‍රවාදයක සිටින රටවල් සඳහා ඔවුන් තුළ පවතින අධිපතිවාදී ස්වරූපය සම්බන්ධයෙන් පවතින දැඩි විවේචනය ද මෙමගින් තීව්‍ර විය.

ශ්‍රී ලාංකිකයන්, ඉන්දියානුවන්, චීන ජාතිකයන් සහ බටහිර නිලධාරීන් මෙන්ම වරාය නගර ව්‍යාපෘතියට අදාළ ලේඛන හා ගිවිසුම් පිළිබඳ මාස ගණනාවක් මුළුල්ලේ සිදුකළ විශ්ලේෂණ, මුදල්වලට කෑදර කමින් සිටින කුඩා රටක් තුළ චීනය හා එහි පාලනය යටතේ පවතින සමාගම් සිය බලාපොරොත්තු ඉටු කර ගත්තේ කෙසේද යන්න පෙන්වා දෙන පැහැදිලි චිත්‍රයක් ලබා දෙයි.

• 2015 මහ මැතිවරණය සමයේදී චීන වරාය ඉදිකිරීමේ අරමුදල (Chinese port construction fund) හරහා ලැබුණු විශාල ගෙවීම් කෙළින්ම බැහැර වූයේ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මිතුරන් සහ ක්‍රියාකාරීන් හට ය. ඔවුන් හැම විටම චීනයේ කොන්දේසිවලට එකඟ වී සිටි අතර, දකුණු ආසියාව තුළ ඉන්දියාවේ බලපෑමෙන් මිදීම සඳහා ගන්නා උත්සාහයන් තුළ වැදගත් මිතුරෙකු සේ චීනය සැලකිණි. ලිපි ලේඛන මගින් අදාළ ගෙවීම් සිදුකෙරී ඇති අතර, එහිදී හුවමාරු වූ කෑෂ් චෙක්පත් ද රජයේ විමර්ශනයකදී ‘ද නිව්යෝක් ටයිම්ස්‘ විසින් දැක ඇත.

• චීන නිලධාරීන් සහ විශේලේෂකයන්, හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනයට පවතින්නේ වාණිජ අභිලාෂයක් බව අවධාරණය කර තිබුණ ද ශ්‍රී ලංකාවේ නිලධාරීන් මුල පටන්ම පැවසුවේ වරායේ ස්ථානවීම අනුව එහිදී රහස් ඔත්තු සේවා සහ ක්‍රමෝපායන හැකියාවන් ද සලකා බැලෙනු ඇති බවයි.

• වරාය ව්‍යාපෘතියේ ණය දීමේ මූලික කොන්දේසි වඩාත් බැරෑරුම් වූයේ ශ්‍රී ලංකාවේ බලධාරීන් කාල සීමාව දීර්ඝ කර ගැනීම සහ වැඩි මූල්‍ය පහසුකම් ඉල්ලා සිටීම සඳහා ඒ පිළිබඳ නැවත කතිකා කළ යුතු යැයි කියා සිටීම නිසා ය. එසේම ගතවූ වර්ෂ කිහිපය තුළ ශ්‍රී ලංකා බලධාරීන් සිය ණය කපා ඉවත් කර ගැනීමට උත්සුක වූ හෙයින් චීනයේ ඉල්ලීම, කොන්දේසි ලිහිල් කිරීම වෙත නොව වරායේ කොටස් භාරදීම කෙරෙහි කේන්ද්‍රගත විය.

• වරාය ව්‍යාපෘතියේ ණයෙන් බිලියන 1 ක් ඉවත් කර ගැනුණ ද, මේ වන විට ශ්‍රී ලංකාව අන් කවරදාටත් වඩා චීනයට ණයගැති වී සිටින්නේ සෙසු ණය දිගටම බලපැවැත්වෙන නිසා සහ, වෙනත් අන්තර්ජාතික ණය දෙන්නන්ට වඩා චීනයේ ණය පොලී අනුපාතිකය ඉහළ අගයක් ගන්නා නිසා ය.

රාජපක්ෂ සහ ඔහුගේ ආධාරකරුවන් වෙත මේ ලිපිය සඳහා අදහස් දැක්වීම පිණිස මාස කිහිපයක් මුළුල්ලේ දිගින් දිගටම ඉල්ලීම් කළ නමුත් ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. චීන වරායේ නිලධාරීන් ද අදහස් නොදැක්වූහ.

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය විසින් සිදුකරන ලද ඇස්තමේන්තු මගින් ලබාදෙනුයේ අසතුටුදායක චිත්‍රයකි. මේ වසරේ ආණ්ඩුව සිය ආදායම් වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 14.8 ක් උත්පාදනය කර ගැනීමට බලාපොරොත්තු වෙයි. නමුත් එයින් ලොව පුරා සිටින ණයහිමියන් වෙත ගෙවීමට ඇති ණය ඇමරිකානු ඩොලර් බිලියන 12.3 ක් වේ.

‘‘ජෝන් ඇඩම්ස්ගේ කුප්‍රකට කියමන අනුව රටක් කඩුවෙන් හෝ ණය දීම මගින් යටත් කර ගන්නට පුළුවන්. චීනය තෝරාගත්තේ දෙවැනි ක්‍රමයයි‘‘ යැයි ඉන්දීය ආණ්ඩුව සඳහා උපදේශන කටයුතුවල නිරත වී සිටින නවදිල්ලියේ ප්‍රතිපත්ති පර්යේෂණ කේන්ද්‍රයේ බ්‍රහ්මා ෂැනලි පවසයි.

ඉන්දීය බලධාරීන් විශේෂයෙන් බියපත් වනුයේ ශ්‍රී ලංකාව චීනය මත ඉතා දැඩි සේ ප්‍රශ්නකාරී වන අවස්ථාවක, ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් තොරව හමුදා ක්‍රියාකාරකම් තහනම් බව අවසන් බදු ගිවිසුමේ දැක්වුණද, චීන ආණ්ඩුව, ණය සහන ලබාදීමේ මුවාවෙන් එහි හමුදාමය කටයුතු සඳහා හම්බන්තොට වරාය වැනි වත්කම් පාවිච්චි කරනු ඇතැයි සිතමිනි.

‘‘හම්බන්තොට සඳහා ආයෝජනය කිරීම සාධාරණීකරණය කළ හැකි එකම ක්‍රමය එය ආරක්ෂක කටයුතු සඳහා යොදාගැනීම පමණයි. එනම්, ඔවුන් හම්බන්තොට වරායට චීන හමුදාව රැගෙන ඒවි‘‘ යැයි විදේශ ලේකම් හා හම්බන්තොට වරාය ඉදිකරන සමයේ ජාතික ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කළ ශිවෂංකර් මෙනන් පවසයි.

නිදිබර ගමේ පුස් වෙඩිල්ල

චීන විප්ලවයෙන් පසු මාවෝගේ කොමියුනිස්ට් ආණ්ඩුව පිළිගැනීමෙන් අනතුරුව චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාවය නම්‍යශීලී එකකි. නමුත් වාර්ගික දමිල බෙදුම්වාදීන් සමග ශ්‍රී ලංකාවේ බිහිසුණු 26 අවුරුදු සිවිල් යුධ සමයේදී චීනය සමග සම්බන්ධතාවය පවත්වාගැනීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් බවට පත්විය.

2005 වසරේ බලයට පැමිණි මහින්ද රාජපක්ෂ යුද්ධයේ අවසන් වර්ෂ කිහිපයේ ද බලයේ සිටින අතරවාරයේ ශ්‍රී ලංකාව ඉතා වේගයෙන් ලෝකයෙන් හුදෙකලා වූයේ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ චෝදනා සමගිනි. ඔහු යටතේ ශ්‍රී ලංකාව ආර්ථික සහයෝගය, හමුදා උපකරණ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සම්බාධක පැනවීම වළක්වා ගැනීම පිණිස දේශපාලනික ආවරණය ලබාගැනීමේදී චීනය මත විශාල වශයෙන් රඳා පවතින තත්වයට පත්විය.

‍2009 වසරේදී යුද්ධය අවසන් වූ අතර, රට ස්ථාවර වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබියදී මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුල තවදුරටත් සිය ග්‍රහණය තර කර ගත්හ. රාජපක්ෂගේ ධුර කාලයේ ඉහළම අවධියේදී රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයන් තිදෙනා ආණ්ඩුවේ අමාත්‍යාංශ ගණනාවක් සහ ආණ්ඩුවේ සමස්ත වියදම්වලින් 80% ක් පමණ පාලනය කළහ. චීනය වැනි රටවල් සෘජුවම කතා බස් කළේ ඔවුන් සමග ය.

ඒ අනුව ජනාධිපති රාජපක්ෂ විසින් ඔහුගේ නිදිබර ගම් පළාත වන හම්බන්තොට නව ව්‍යාපෘතිය සිදුකරන බව කියන්නට පටන් ගත්විට එයට විරුද්ධ ව ඇති වූ බාධක කිහිපය, එය වළක්වා ගැනීම සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් වූයේ නැත.

‍මුල පටන් ම නිලධාරීන් විසින් දෙවන ප්‍රධාන වරායක් රට තුළ ඇතිකිරීමේ ඥානාන්විත භාවය ප්‍රශ්න කරන ලදී. බ්‍රිතාන්‍යෙයන් 1/4 ක් තරම් වන, මිලියන 22 ක ජනගහනයක් ජීවත් වන රටක, හොඳින් සක්‍රියව පැවති අගනුවර ප්‍රධාන නගරය ව්‍යාප්ත කිරීම, කළ හැකි දෙයක් ව තිබිණි. ආණ්ඩුව විසින් සිදුකළ ශක්‍යතා අධ්‍යයන විසින් දැඩි ලෙසම නිගමනය කර තිබුණේ හම්බන්තොට ඉදිකරන වරායක් වාණිජ වශයෙන් අසාර්ථක වනු ඇති බවයි.

‘‘ඔවුන් වරාය ව්‍යාපෘතිය ආරම්භයේදීම අප වෙත ආවා. එවිට ඉන්දියානු සමාගම් එය ප්‍රතික්ෂේප කළා“ යැයි හිටපු ඉන්දීය විදේශ ලේකම් ශිවෂංකර් මෙනන් පවසයි. ‘‘එ්ක එදත් ආර්ථික වශයෙන් පුස් වෙඩිල්ලක්. දැනුත් පුස් වෙඩිල්ලක්“

නමුත් මහින්ද රාජපක්ෂ ව්‍යාපෘතිය ආරම්භ කර, ඉන්පසු තමන් සියලුම බාධක ජයගත්තේ යැයි පම්පෝරි ගසමින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කළේය. වරාය ව්‍යාපෘතිය සමග සිටියේ චීනයයි.

2007 වසරේදී බලධාරීන් විසින් ප්‍රවේශම් සහගත සහ ආර්ථික වශයෙන් සාර්ථක සැලසුමක් බවට විශ්වාස කළ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යම් රික්ථාවරණයක් කළ බව ව්‍යාපෘතියට සම්බන්ධව කටයුතු කළ නිලධාරියෙක් පෙන්වා දෙයි. 2010 වසරේදී වරාය සීමිත වශයෙන් ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කරනු ලැබුවේ දැවැන්ත වශයෙන් එය ව්‍යාප්ත කිරීමට පෙර යම් ආදායමක් ලබාගැනීම සඳහා ය.

ව්‍යාපෘතිය සඳහා චීනයෙන් ගනු ලැබූ ප්‍රථම ප්‍රධාන පෙළේ ණය ලබාගැනුණේ එක්සිම් හෙවත් චීනයේ එක්ස්පෝට්-ඉම්පෝට් බැංකුව (Export-Import Bank) වෙතිනි. එය ඇමරිකානු ඩොලර් මිලියන 307 කි. නමුත් එම ණය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් එහි වරණීය සමාගම (preferred company) වශයෙන් බෙයිජිං හි චයිනා හාබර් සමාගම (China Harbor) වරාය ඉදිකරන්නා ලෙස තෝරාගත යුතු වූ බව ඇමරිකානු තානාපති කාර්යාලය වෙත එකල ලබාදුන් කේබල් පණිවුඩයකින් විකිලීක්ස් ඔස්සේ හෙළිදරව් විය.

මෙය චීනය විසින් ලොව පුරා සිය ව්‍යාපෘතිවලදී සිදුකරනු ලබන සාමාන්‍ය ගණයේ ඉල්ලීමකි. විවෘත ලංසු තැබීමේ ක්‍රමවේදයක් වෙනුවට ඔවුන් යොදාගන්නේ මෙම ක්‍රමයයි. කලාපය පුරාම බෙයිජිං රජය ඩොලර් බිලියන ගණන් ණය ලබාදෙන්නේ චීන සමාගම් සහ දහස් ගණනක් වූ චීන කම්කරුවන් යොදවා ගත යුතු බවට වන පූර්ව කොන්දේසියක් ද සමග ය.

මෙම ණය සම්බන්ධයෙන් තවත් වගකීම් ද ඈඳී තිබිණි. මුල පටන්ම හම්බන්තොට වරාය තුළ චීනය උපාය මාර්ගික වටිනාකමක් දුටු බවට සලකුණු තිබේ.

හිටපු ශ්‍රී ලංකා විදේශ ලේකම්වරයෙකු සහ චීන තානාපතිවරයෙකු වන නිහාල් රොද්‍රිගෝ පැවසුවේ එ් කාලයේ චීන බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවලදී බුද්ධි අංශය තොරතුරු බෙදාගැනීම අනුකලනමය මට්ටමකින් සිදුවිය යුතු බව පැහැදිලිව සඳහන් කළ බවයි. එය මෙම ගනුදෙනුවේ කොටසක් විය. ‘ද ටයිම්ස්‘ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් නිහාල් රොද්‍රිගෝ චීනය වෙත ලබාදුන් ස්ථාවරය විස්තර කළේ, ‘‘අපි හිතනවා, මෙහාට එන්නේ කවුද නතර වන්නේ කවුද යන්න ඔබ අපට දැනුම්දේවි කියා..“ (“We expect you to let us know who is coming and stopping here.”)

ඉන් අනතුරු වසර කිහිපය තුළ චීන බලධාරීන් සහ චයිනා හාබර් සමාගම, එවැනි කොන්දේසිවලට ඔවුන්ගේ විශ්වාසය දිනාගනිමින් එකඟ වී සිටි මහින්ද රාජපක්ෂ සමග දීර්ඝ සබඳතාවක් ඇති කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවේ 2015 මහ මැතිවරණයේ අවසන් මාස කිහිපය තුළ චීන තානාපතිවරයා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඔබ්බට ගොස් ඡන්ද දායකයන් පෙළඹවීම සඳහා එක්ව සිටින අතර, විපක්ෂයට එරෙහිව රාජපක්ෂ ට සහාය දැක්වීම පිණිස ප්‍රධාන පෙළේ ගොල්ෆ් පිට්ටනිවල අවන්හල්වල පවා දැකගත හැකි වූයේ, චීන ආණ්ඩුව සමග ඇති කරගත් ආර්ථික එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට ද තර්ජනයක් වෙමිනි.

මහින්ද රාජපක්ෂට චීනයෙන් මුදල්

ජනවාරි මැතිවරණය ආසන්නයට පැමිණෙන විට ජනාධිපතිවරයාගේ කවය වෙතට විශාල ගෙවීම් ගලා එන්නට පටන් ගත්තේය.

මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක් ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුවේ තිබෙන චයිනා හාබර් ගිණුමෙන් බැරවිය. මේ බව සනාථ කරන ලේඛන, මේ වන විටත් පැවැත්වෙමින් තිබෙන රජයේ විමර්ශනයකට අදාළ ලේඛනවලින් ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත දුටුවේය. එම ලේඛනවල හිමිකරු කවුදැයි සනාථ කරන චයිනා හාබර් බැංකු ගිණුම් අංකය දැක්වෙන අතර, එකී චෙක්පත් නිකුත් කරනු ලැබුවේ කා හටද යන්න පිළිබඳ ප්‍රශ්න කෙරෙමින් තිබේ.

‍මැතිවරණය ආරම්භ වීමට දින 10 ක් තිබියදී චෙක්පත් මගින් ලබාදී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 3.7 කි. එයින් ඩොලර් 678,000 ක් කැම්පේන් ටී ෂර්ට් සහ වෙනත් ප්‍රචාරණ අමුද්‍රව්‍යවල මුද්‍රණ කටයුතු සඳහා වන අතර, ඩොලර් 297,000 ක් ආධාරකරුවන්ට හා ආධාරකාරියන්ට සාරි ඇතුළු තෑගි භාණ්ඩ මිලදී ගැනීම සඳහා ය. තවත් ඩොලර් 38,000 ක් රාජපක්ෂගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරමින් සිටි ජනප්‍රිය බෞද්ධ භික්ෂුවකට ගෙවා ඇත. එකතුව ඩොලර් මිලියන 1.7 ක් වටිනා චෙක්පත් දෙකක් රාජපක්ෂ පදිංචි ව සිටි අරලියගහ මන්දිරයේ ස්වෙච්ඡාවෙන් වැඩ කළ අය වෙත ලබාදී තිබේ.

එම ගෙවීම්වලින් බහුතරය සිදුකර තිබෙන්නේ චයිනා හාබර් ගිණුම විසින් පාලනය කරන උප ගිණුමකිනි. එහි නාමය, හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය හඳුන්වන කෙටි නාමය වන HPDP Phase 2 ය.

චීන ජාලය

Belt and Road Initiative ආයෝජන හා ණය ව්‍යාපෘතිය මහත් කලබලයෙන් ලෝකය පුරා පස් අවුරුද්දක් මුළුල්ලේ ව්‍යාප්ත කිරීමෙන් අනතුරුව චීන බලධාරීන් නිහඬව වෑයම් කළේ කොපමණ ගනුදෙනු ගිවිසුම් ප්‍රමාණයක් සිදුකෙරී ඇතිද සහ, රටේ මූල්‍ය අනාවරණය කුමක්දැයි සොයාගැනීමට ය. ඒ සම්බන්ධයෙන් තවමත් ප්‍රමාණාත්මක චිත්‍රයක් නොමැති බව එක් චීන ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෙක් පවසයි. මෙම නිලධාරියා ද වෙනත් බොහෝ අය මෙන්ම, චීන ප්‍රතිපත්තිය පිළිබඳ සිය නම හෙළි නොකිරීමේ පදනම මත පමණක් සිය අදහස් දැක්වූ අයෙකි.

මෙවැනි ව්‍යාපෘතිවල ආයතනයික හැඩහුරුකම විසින් චීනය මත වගකීමක් පැටවේදැයි ඇතැම් චීන බලධාරීන් සැලකිලිමත් වීම අරඹා තිබේ. එසේම මෙවැනි ව්‍යාපෘතිවලින් ලාභ ලැබිය හැකි තත්වය දක්වා ඒවායේ කොන්දේසි ඉහළ දැමීම කෙරෙහි ද ඔවුන්ගේ අවධානය යොමු ව ඇත. පසුගිය වසරේ සිය කථාවකදී ජනපති ෂී ජින් පින් මේ පිළිබඳ සිය කණස්සල්ල පළ කළේ මෙසේ කියමිනි. ‘‘බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් ගොඩනැගීමේදී අප දූෂණයෙන් තොර වීම සම්බන්ධයෙන් අන්තර්ජාතික සහයෝගිතාවය අවංක ලෙසම ශක්තිමත් කරගැනීමටත් බලාපොරොත්තු වෙනවා.“

උදාහරණයක් වශයෙන් බංග්ලාදේශයේදී චීන බලධාරීන් ජනවාරි මාසයේදී පැවසුවේ චීන වරාය සමාගමට අනාගත කොන්ත්‍රාත්කිරීමට නොහැකි වන සේ එය අවහිර කරන බවයි. එයට හේතු වී තිබුණේ එම සමාගම මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරියෙකුට, තේ කොළ පෙට්ටියක් තුළ බහා ඇමරිකානු ඩොලර් 100,000 ක අල්ලසක් ලබාදීමට තැත් කිරීම බව සම්මුඛ සාකච්ඡාවලදී කියැවිණි. එසේම චයිනා හාබර් මව් සමාගම වන චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි (China Communications Construction Company) 2009 වසරේදී අට අවුරුද්දක් සඳහා ලෝක බැංකු ව්‍යාපෘතිවලට ලංසු තැබිය නොහැකි සේ තහනම් කරනු ලැබුවේ, පිලිපීනයේදී ඔවුන් ප්‍රකට කළ දූෂිත හැසිරීම් හේතුවෙනි.

ශ්‍රී ලංකාවේ වරාය නතු කර ගැනීමෙන් පසු චීන බලධාරීන් ‘බෙල්ට් ඇන්ඩ් රෝඩ්‘ ව්‍යාපෘතිය මගින් මහද්වීප ත්‍රිත්වය හරහා මූල්‍ය සංවර්ධනය සිදුකරන්නට චීන ආණ්ඩුව විවෘත ලෙස කැප වී නොසිටි බව යෝජනා කරන්නට පටන් ගෙන තිබේ.

‘‘මේ අවදානම හොඳින් කළමනාකරණය කරන්නට ඔබට නොහැකි නම්, බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘති එතරම් දුර යන එකක් නැහැ“ යැයි සිල්ක් රෝඩ් ෆන්ඩ් (සේද මාවත අරමුදල) හි සභාපතිනිය ජින් ෂී, මාර්තු මස අග පැවති චීන සංවර්ධන සංසදයේදී පවසයි. සේද මාවත අරමුදල රාජ්‍ය හිමිකාරිත්වය සහිත විශාල ආයෝජන අරමුදලකි.

‍ශ්‍රී ලංකාව පිළිබඳ ගැටළුවේදී වරාය බලධාරීන් සහ චීන විශ්ලේෂකයන් විසින්, හම්බන්තොට වරාය ලාභදායී ව්‍යාපාරයක් වනු ඇතැයි ද අදහස් කර නැත. එසේම අඩුම වශයෙන් චීනයේ කලාපීය වාණිජ ශක්‍යතාවන් මේ නිසා ශක්තිමත් වන බවට හෝ මතයක ඔවුන් විසින් දක්වා නැත.

චීනයේ මර්චන්ට් පෝට් හි ශ්‍රී ලංකා නියෝජිත සහ හම්බන්තොට වරාය මෙහෙයුම්වල ප්‍රධානී රේ රෙන් අවධාරණය කළේ, ‘‘ශ්‍රී ලංකාව පිහිටා තිබෙන ස්ථානය අන්තර්ජාතික වෙළඳාම සඳහා කදිමයි‘‘යනුවෙනි. තවද සෘණාත්මක ශක්‍යතා අධ්‍යයන ඔහු විසින් ප්‍රතික්ෂේප කළේ ඒවා සිදුකළේ වසර ගණනාවකට පෙර, හම්බන්තොට ‘කුඩා ධීවර ගමක්‘ වශයෙන් පැවතියදී බව පවසමිනි.

නූතන අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ චීන ආයතනයේ දකුණු ආසියානු අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ හූ ෂිෂෙන්ග් පැවසුවේ, හම්බන්තොට වරායේ උපාය මාර්ගික වටිනාකම චීනය විසින් පැහැදිලිව වටහාගෙන ඇති බවයි. නමුත්, ඔහු මෙසේ ද පැවසීය. ‘‘චීනයට භූගෝලීය උපාය මාර්ගික වටිනාකම බලපවත්වන්නට අවශ්‍ය වූ වහාම, වරායට හිමි උපාය මාර්ගික වටිනාකම ඉවත් වේවි. විශාල රටවලට ශ්‍රී ලංකාව තුළ සටන් වදින්නට බැහැ. එය අතුගෑවී යාවි.“

හම්බන්තොට වරාය 2010 වසරේදී ප්‍රථම වතාවට විවෘත කළේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් පිළිබඳ නිවේදනය කිරීමට පෙර වුවද, චීන ආණ්ඩුව එම ගෝලීය වැඩසටහන තුළට වහාම හම්බන්තොට වරාය අන්තර්ග්‍රහණය කළේය.

හම්බන්තොට වරාය චීනයට භාරදීමෙන් මද වේලාවකට පසු, චීනයේ රාජ්‍ය පුවත් සේවය පුරසාරම් සහිත වීඩියෝවක් ට්විටර් සමාජ ජාලය වෙත නිකුත් කළේ, එය ‘‘#BeltandRoad හි තවත් සැතපුම් කණුවක්“ බව කියා සිටිමිනි.

වී වේළන ගුවන් තොටුපොළ

චීන ණයෙන් හම්බන්තොට සිදුකළ එකම මහා ව්‍යාපෘතිය මෙම වරාය පමණක් නොවේ.

අතරින් පතර වෙසෙන ජනගහනයක් සහිත ශ්‍රී ලංකාවේ ගිනිකොණදිග වෙරළ තීරයේ තවමත් වැඩි වශයෙන් දැකගත හැක්කේ වනගත බවයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගනගරයේ ජනගහනයට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් සහිත ක්‍රිකට් ක්‍රීඩාංගනයක්, විශාල අන්තර්ජාතික ගුවන් තොටුපොළක් මෙන්ම එහි අහස වෙත නැගී ඇත. ජූනි මාසයේදී මෙම අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ එකම එක ගුවන් යානාව ද නැවතුණේ, ෆ්ලයි ඩුබායි ගුවන් සේවය එම ගුවන් මාර්ගය තෝරාගැනීම අවසන් කිරීමත් සමග ය. දිස්ත්‍රික්කය හරහා දිවෙන අධිවේගී මාර්ගය වල්අලින්ගෙන් ගහණ අතර, එය සිය කුඹුරුවලින් ලබාගන්නා අමු වී අස්වනු වියැළීම සඳහා ගොවීන් විසින් පාවිච්චි කරනු ලැබේ.

වරාය විවෘත කිරීමෙන් පසු එය ව්‍යාප්ත කළ යුත්තේ කෙසේදැයි මහින්ද රාජපක්ෂගේ උපදේශකයන් විසින් ක්‍රමෝපායික ප්‍රවේශයක් මගින් දක්වා තිබුණේ, තවත් වැඩිපුර ණය වීමට පෙර යම් ආදායමක් උපයා ගත හැකි බව සාක්ෂාත් කරමිනි.

නමුත් 2009 වසරේදී ජනාධිපතිවරයා නොඉවසිලිමත් වී සිටියේය. ඔහුගේ 65 වන උපන්දිනය එළඹී තිබූ අතර, එය සැමරීම සඳහා ඔහුට හම්බන්තොට වරාය අතිශය උත්සවකාරී ලෙස විවෘත කිරීමට ඔහුට අවශ්‍ය විය. වරාය අධිකාරියේ මුල් සැලසුමට වඩා වසර 10 ක් ඉදිරියට ගොස් වරාය ප්‍රසාරණය කිරීම ආරම්භ කිරීම ද එම සැලසුමට ඇතුළත් විය.

මෙතැන් පටන් චීන කම්කරුවන් දිවා රෑ වැඩ කරමින් වරාය විවෘත කිරීමට සුදුසු තත්වයකට පත් කිරීමට පටන් ගත් බව බලධාරීහු පවසති. නමුත් කම්කරුවන් වරායේ ද්‍රෝණිකාව නිර්මාණය කිරීම සඳහා පස් අදිමින් ඉන්පසු එයට ජලය පුරවන විට එහි පිවිසුම අවහිර කරමින් විශාල ගලක් ඇති බව ඔවුන් සැලකිල්ලට ගත්තේ නැත. මෙම අවහිර නිසා වරායේ ව්‍යාපාරික මොඩලය රඳා පැවති තෙල් ටැංකි ප්‍රවාහන යාත්‍රා වැනි විශාල නෞකා වරායට පැමිණීමට බාධා ඇති වේ.

ජනාධිපති ඉක්මවා යාමට අකමැති වූ වරාය බලධාරීහු, එය එසේම තිබියදී ඉදිරි වැඩ කටයුතු සිදුකරගෙන ගියහ. හම්බන්තොට වරාය 2010 නොවැම්බර් 18 වැනිදා අති උත්කර්ෂවත් ලෙස විවෘත කරනු ලැබුවේ ජනපති මහින්ද රාජපක්ෂගේ උපන් දිනය දා ය. ඉන්පසු මහා ගලක් එහි පිවිසුම අවහිර කරමින් රැඳී තිබියදී හම්බන්තොට වරාය ද තමන් වෙත ව්‍යාපාර ඇදී එන තෙක් වාඩි වී බලාගෙන සිටියේය.

චීන වරායේ කළු ගල එයට වසරකකට පසු පුපුරුවා හරිනු ලැබුවේ ඩොලර් මිලියන 40 ක වියදමක් දරමිනි. එය, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ රජයේ නිලධාරීන් අතර මතභේද ඇති කළ සීමාරහිත මිලක් විය. මෙහිදී ඇතැමුන් විවෘත ලෙසම සැක පළ කළේ, එම සමාගම ඒ සඳහා අසාමාන්‍ය වැඩි මිලක් අය කර තිබේද, නැතිනම් රාජපක්ෂ හට ලැබෙන අයුතු ලාභ ද එම මිලට ඇතුළත් වේද යන්න පිළිබඳව ය.

2010 වන විට හම්බන්තොට වරාය තමන් වෙත නෞකා ගෙන්වා ගැනීමට උත්සාහ ගනිමින් සිටියේ, කොළඹ වරායේ නැංගුරම්පළ ඉක්මවා යාමේ අභිලාෂයෙනි. තවද වරාය, පෙර සැලසුම් කර තිබූ ආකාරයෙන් බැහැරව ව්‍යාප්ත කෙරෙමින් තිබූ නිසා ඉදිකිරීම් විදයම් ද ඉහළ යමින් තිබිණි. එම වසරේ අග ආණ්ඩුව නියෝග කළේ කොළඹ වරාය වෙත පැමිණෙන මෝටර් රථ රැගත් නෞකා ඒ වෙනුවට පිට පාරේ ගොස් සිය භාණ්ඩ තොග හම්බන්තොට වරායේදී ගොඩ බෑ යුතු බව ය. ඒ අනුව ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කෙරිණි. නමුත් එසේ තිබියදීත් 2012 වසරේදී හම්බන්තොට වරායේ නැංගුරම් ලෑ නෞකා සංඛ්‍යාව 34 ක් පමණි. මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවට අනුව කොළඹ වරායට එම වසරේ පැමිණි නැව් ගණන 3,667 ක් වේ.

‘‘මා ආණ්ඩුවට පැමිණි විට ජාතික සැලසුම් පිළිබඳ අමාත්‍යවරියට මා කතා කළා. හම්බන්තොට වරාය ඉදිකිරීම සාධාරණීකරණය කරන්නට පුළුවන් කෙසේදැයි මම ඇසුවා“ යැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. ‘‘ඇය කිව්වෙ, අපිට ඒක කරන්න කිව්වා. ඒ නිසා අපි එ්ක කළා‘ කියලයි.

වරාය තවදුරටත් ව්‍යාප්ත කිරීමට අදිටන් කර ගනිමින් මහින්ද රාජපක්ෂ 2012 වසරේදී චීනය වෙත ගියේ, ඩොලර් මිලියන 757 ක් ඉල්ලා සිටිමිනි.

චීන රජය නැවතත් එයට එකඟ විය. නමුත් මේ වතාවේ, එම ණය මුදල ලබාදීමේ කොන්දේසි තවදුරටත් දුෂ්කර විය.

ඩොලර් මිලියන 307 ක් වූ පළමු ණය වාරිකය මුලින්ම ලබාදීමට නියමිත ව තිබුණේ 2008 වසරේ ගෝලීය මූල්‍ය කඩාවැටීමෙන් පසු සාමාන්‍ය වශයෙන් සිදුවන පරිදි 1% ක හෝ 2% ක විචල්‍ය පොලී අනුපාතිකයකිනි. (සන්සන්දනය කරන්නේ නම්, මේ හා සමාන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ජපානය විසින් ලබාදෙන ණයවල පොලී අනුපාතිකය වන්නේ 0.5% කට අඩු අගයකි.)

නමුත් නැවත ණය ලබාදීමේදී එම මූලික ණය මුදල, 6.3% ක් වැනි ඉතා ඉහළ ස්ථාවර පොලී අනුපාතිකයක් දක්වා නැවත ගිවිසගනු ලැබිණි. මහින්ද රාජපක්ෂ එයට විරුද්ධ නොවී එය අනුමත කළේය.

හම්බන්තොට වරාය ආදායම් ඉපයීම සඳහා අරගලයක නිරත වන විට පවා, ඉහළ යන ණය සහ ව්‍යාපෘති වියදම් විසින් ශ්‍රී ලංකාවේ විපක්ෂයට ප්‍රබල ප්‍රශ්නයක් ලබාදුන් අතර, විපක්ෂය චීනය පිළිබඳ පැවති සැක සංකාවලට එරෙහිව ප්‍රබල මැතිවරණ ව්‍යාපාරයක නිතර විය. මහින්ද රාජපක්ෂ මැතිවරණයෙන් පරාජය විය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නායකත්වය ලබාදුන් නව ආණ්ඩුව බලයට පැමිණියේ ශ්‍රී ලංකාවේ මුදල් ගනුදෙනු සියුම් නිරීක්ෂණයට ලක් කරන බවට වූ න්‍යායපත්‍රයක් සමග ය. එය අති දැවැන්ත ණයකට ද මුහුණ පා සිටියේය. එනම්, මහින්ද රාජපක්ෂ යටතේ රටේ ණය තුන් ගුණයකින් ඉහළ ගිය අතර ඔහු ධුරය හැර යන විට එම ණය බර ඇමරිකානු ඩොලර් බිලියන 44.8 ක් විය. 2015 වසරේදී පමණක් ඩොලර් බිලියන 4.68 ක ණය ගෙවුම් ශේෂයක් වසර අවසානයේ ඉතිරි ව තිබිණි.

නව ආණ්ඩුව ඉන්දියාව, ජපානය සහ බටහිර ලෝකය වෙත නැවත යොමුවීමට බලාපොරොත්තුවෙන් සිටියේය. නමුත් බලධාරීන් ඉක්මනින්ම වටහා ගත්තේ චීනය විසින් ශ්‍රී ලංකාව තුළ පුරවා තිබෙන මූල්‍යමය හෝ ආර්ථිකමය අවකාශය පිරවීමට අන් කිසිදු රටක් සමත් නොවනු ඇති බවයි.

හිතාමතාම පල්ලම් බැස්සවූ ආර්ථිකයක්

‘‘අපිට හිතාමතාම පල්ලම් බස්සවා තිබෙන ආර්ථිකයක් උරුම වුණා. ආදායම් මුල් මුදල නැවත ගෙවීමට තබා පොලී ගෙවීමටවත් ප්‍රමාණවත් වුණේ නැහැ.“ නව ආණ්ඩුවේ පළමු වසරේ මුදල් ඇමතිවරයා වූ රවී කරුණානායක පැවසීය.

‘‘අපි දිගින් දිගටම ණය ලබාගත්තා..‘‘ ඔහු තවදුරටත් පැවසීය. ‘‘අලුත් ආණ්ඩුවකට ණය ලබාගැනීමෙන් වළකින්නට බැහැ. ඒක කඩින් කඩ දිවීමක්. ආර්ථික විනය හඳුන්වා දෙන තෙක් ඔබ ඔවුන් සමග දිව යා යුතුයි.“

‍ශ්‍රී ලංකාව චීනයට ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් ණයගැති බව මහබැංකුව තක්සේරු කළේය. නමුත් වෙරිටේ රිසටර්ච් හි ආර්ථික විද්‍යාඥයෙකු වන නිෂාන් ද මෙල් පැවසුවේ ඇතැම් ණය ආණ්ඩුවේ වාර්තාවන්ගේ සඳහන් නොවන බව සහ, ඒ වෙනුවට ඒවා තනි පුද්ගල ව්‍යාපෘතිවල සඳහන් ව ඇති බවයි. ඔහු තක්සේරු කළේ චීනයට ලංකාවේ ණය ගැතිභාවය ඩොලර් බිලියන 5 ක් තරම් විය හැකි බව සහ එම ණයගැතිභාවය වාර්ෂිකව වර්ධනය වන බව ය. මැයි මාසයේදී ශ්‍රී ලංකාව, ණය වාරිකය ගෙවීමට උපකාර වනු පිණිස චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 1 ක අලුත් ණයක් ගත්තේය.

2016 වසරේදී රජයේ බලධාරීන් චීන කොටස්කරුවන් මුණ ගැසීමට පටන් ගත්තේ ශ්‍රී ලංකාවේ ශේෂ පත්‍රයෙන් හම්බන්තොට වරාය ඉවත් කර, ණය සම්පූර්ණයෙන් ම ගෙවීම පැහැර හැරීමෙන් වැළකී සිටීමට ය. නමුත් චීනය කොන්දේසි පනවමින් පැවසුවේ චීන සමාගමක් විසින් වරායේ ප්‍රමුඛ කොටස් මිලදී ගත යුතු බව ය. එයට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා නිලධාරීන් පවසන්නේ ණය ලේඛනගත කිරීම චීනයට පිළිගත හැකි විසඳුමක් නොවනු ඇති බවයි.

ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලබාදුන් විට එය තීරණය වන්නේ කුමන රාජ්‍ය සමාගම විසින් එහි පාලනය ලබාගන්නේ ද යන කාරණය මත ය. එනම් චයිනා හාබර් හෝ චයිනා මර්චන්ට්ස් පෝට් සමාගම් දෙකින් මෙම පාලනය හිමිවන්නේ කාටද යන්නයි. ‘ද ටයිම්ස්‘ පුවත්පත විසින් ලබාගත් අවසන් එකඟතා ගිවිසුමේ පිටපතකට අනුව මේ බව හෙළි වේ. කෙසේ නමුත් මෙම ගිවිසුම කිසිදු විටෙක සම්පූර්ණයෙන් ප්‍රසිද්ධ කර නැත.

චයිනා මර්චන්ට්ස් සමාගම වෙත මේ අනුව කොන්ත්‍රාත්තුව හිමි වූ අතර, එය ඉන්පසුව ඊටත් වඩා දේ ඉල්ලා සිටියේය. ඒ අනුව සමාගමේ නිලධාරීන් විසින් වරාය අවට අක්කර 15,000 ක් ඉල්ලා සිටියේ, මෙම ගනුදෙනු සාකච්ඡා පිළිබඳ දැනුම්වත් භාවයෙන් යුත් නිලධාරීන් දෙදෙනෙකුට අනුව, කාර්මික කලාපයක් ඉදිකිරීම සඳහා ය. හම්බන්තොට වරාය පවා එහි කොටස් මිල වූ ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක් වටින්නේ නැති බව ට චීන සමාගම තර්ක කළේය. එම මුදල් ප්‍රමාණය, හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ණය වී තිබූ ප්‍රමාණයට සමාන මුදලකි.

ඇතැම් රජයේ නිලධාරීන් මෙම කොන්දේසිවලට දැඩි සේ එරෙහි වුවත්, මෙම ගිවිසුම් කථිකාවන්ට සහභාගි වූ නිලධාරීන්ට අනුව පාඩුව පිරිමසාගත හැකි වෙනත් ක්‍රමයක් තිබුණේ නැත. නව ගිවිසුම 2017 ජූලි මසදී අත්සන් තැබුණු අතර, එය 2017 දෙසැම්බරයේ සිට ක්‍රියාවට නැංවිණි.

එම ගනුදෙනුව හරහා ශ්‍රී ලංකාවේ හිමිකාරිත්වයේ මුහුණුවර වෙනස් විය. වෙනත් දේ අතර, වරායේ මෙහෙයුම් කළමනාකරණය සහ ආදායම් රැස් කිරීම සඳහා හවුල් සමාගමක් ආරම්භ කෙරිණි. එම සමාගමේ හිමිකාරිත්වයෙන් 85% ක් චීනයට හිමි වූ අතර, 15% ක් ශ්‍රී ලංකා රජයට හිමි ය.

නමුත් වරාය නගරය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් විශේෂඥ දැනුමෙන් යුත් නීතීඥවරුන් පැවසුවේ ශ්‍රී ලංකාවට මෙම ගිවිසුම තුළ හිමි අල්ප බලය හේතුවෙන් චයිනා මර්චන්ට්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ මෙහෙයුම් තීරණ සම්බන්ධයෙන් චීනයට වැඩි බලයක් ලැබෙන බවයි. තවද වරායට අයත් භූමිභාගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්වාධිපත්‍ය අයිතියක් නොමැති බවයි.

මෙම ගිවිසුම පිළිබඳ මුල්කාලීන සාකච්ඡාවලදී, වරාය සහ ඒ අවට භූමිය චීන හමුදාවට පාවිච්චි කළ හැකිද යන පැනය විවෘත ව නගන ලදී. එය පැහැදිලි ලෙසම තහනම් කළ යුතු බව ඉන්දියානු බලධාරීන් විසින් ශ්‍රී ලංකා රජයෙන් නිරන්තරව පැවසිණි. අවසන් ගිවිසුම හරහා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් අවසර ලබාදෙන්නේ නම් මිස විදේශ රටවලට වරාය හමුදාමය අරමුණු වෙනුවෙන් පාවිච්චි කිරීමට සීමා පනවයි.

එම අතුරු විධානය අන්තර්ගත වන්නේ චීන නාවික සබ්මැරීන ඒ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ඉල්ලමින් තිබූ නිසා ය.

උපාය මාර්ගික ගැටළු

චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායේ ද කොටස්කරුවෙකු වේ. එනම් චයිනා හාබර් සමාගම එහි නව පර්යන්තයක් ඉදිකරමින් සිටි අතර, එකල එය හඳුන්වනු ලැබුවේ කොළඹ වරාය නගරය (Colombo Port City) යනුවෙනි. එම ගනුදෙනුව සමග දළ වශයෙන් අක්කර 50 ක පමණ භූමියක් චීන සමාගම විසින් ශුද්ධ වශයෙන් අයත්කරගෙන තිබූ අතර, එම භූමිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්වාධිපත්‍යයක් නොමැත.

එ් බව 2014 හෙවත් රාජපක්ෂගේ ධුර කාලයේ අවසන් වසර වන විට නාට්‍යාකාරයෙන් විදහා දැක්වෙමින් තිබිණි. ජපන් අග්‍රාමාත්‍ය ෂින්සො ඒබේ කොළඹට පැමිණි දිනයේදීම කොළඹ වරායේ චීන සබ්මැරීන නැංගුරම් දැමුවේය. එය කලාපය පුරා ප්‍රකට වූයේ බෙයිජිං වෙතින් ලැබුණු තර්ජනාත්මක සංඥාවක් වශයෙනි.

‍ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව බලයට පැමිණි විට වරාය වෙත චීන සබ්මැරීන නැවත කිසිදා නොපැමිණෙන බවට වගබලාගැනීමේ සහතිකයක් සඳහා එය උත්සුක විය. ඔවුන් මේ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්වූයේ චීන සබ්මැරීන පැමිණෙන බව සොයාගැනීම දුෂ්කර නිසා සහ ඒවා නිතරම රහස් තොරතුරු එක්රැස් කිරීම සඳහා භාවිතා කරන බැවිනි. නමුත් ශ්‍රී ලංකා බලධාරීන් හට එය සැබෑ වශයෙන්ම තිබුණේ ඒ සම්බන්ධයෙන් ඉතා කුඩා පාලනයක් පමණි.

දැන්, හම්බන්තොට වරාය චීනයට භාරදීම මගින් හමුදා භාවිතයන් සඳහා එය යොදාගැනීම, විශේෂයෙන්ම චීනය සිය ප්‍රතිඥාවන් කඩ කරමින් දිගින් දිගටම දකුණු චීන මුහුදේ හමුදාමය දූපතක් නඩත්තු කරමින් සිටීම තවදුරටත් යථාර්ථයක් බවට පත් කළේය.

ශ්‍රී ලංකා බලධාරීන් ඒ විගසම පෙන්වා දුන්නේ ගිවිසුම මගින් පැහැදිලිවම එම ක්ෂේත්‍රෙය් හමුදා භාවිතාවන් තහනම් කර ඇති බව ය. නමුත් සෙස්සන්ගේ නිරීක්ෂණය වූයේ, චීනයට ඒ වන විටත් දැඩි සේ ණය වී සිටින ශ්‍රී ලංකා ආණ්ඩුව වෙතට එයට ඉඩදීම සඳහා බලපෑම් කළ හැකි බවයි.

එසේම, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා එය දැක්වූයේ ‘‘ආණ්ඩු වෙනස් වෙන්න පුළුවන්‘ යනුවෙනි.

දැන්, චීනයේ වරණීය ශ්‍රී ලංකා කොටස්කරුවා වූ මහින්ද රාජපක්ෂ දේශපාලනික පුනරාගමනයක් සඳහා සැරසෙන්නේදැයි හර්ෂ ද සිල්වා සහ සෙසු අය බලා සිටිති. හිටපු ජනාධිපතිගේ නව විරුද්ධ පක්ෂය පෙබරවාරියේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් ප්‍රකට ජයක් ලබාගත්තේය. ජනාධිපතිවරණය ලබන වසරේ ද, මහමැතිවරණය 2020 දී ද පැවැත්වීමට නියමිත ය.

ධුර කාලය පිළිබඳ ගැටළු හේතුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය සඳහා නැවත තරග කිරීමෙන් වළක්වා තිබුණද, ඔහුගේ සහෝදරයා වන ගෝටාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා එය සිදුකිරීමට සූදානම් බව පෙනී යයි.

‘‘ඒක මහින්ද රාජපක්ෂ විසින් තෝරාගනීවි. ඔහු කියනවා නම් ඔහුගේ සහෝදරයන්ගෙන් එක් අයෙක් සුදුසුයි කියලා, එම තැනැත්තාට ඉතාම ශක්තිමත් තහවුරු වීමක් තිබිය යුතුයි“ යැයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ මහබැංකු අධිපතිවරයා ව සිටි සහ තවමත් රාජපක්ෂ පවුලේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරන අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. ‘‘ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව ට අනුව මහින්ද රාජපක්ෂ තවදුරටත් ජනාධිපති නොවුණත්, මහින්ද තමයි බලයේ ප්‍රධාන පදනම.“

මෙම වාර්තාව සඳහා බෙයිජිං සිට කීත් බ්‍රැඩ්ෂර් සහ සුයි-ලී, ශ්‍රී ලංකාවේ සිට මුජිබ් මාෂල්, ධරීෂා බැස්ටියන්ස් සහ ආතර් වමනන් දායක විය.

පරිවර්තනය – රදිකා ගුණරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here