චීන සල්ලි ගත් හොරකම ගැන ඔප්පු කරන්න ගිහින් මහින්ද නාගත් හැටි

0
922

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිදුකළ ගවේෂණාත්මක වාර්තාවේ අන්තර්ගත කරුණු සාවද්‍ය බැවින් තමන් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා ඇතත් එවැනි කිසිම දැනුම්දීමක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ අනාවරණය සම්බන්ධව කුරුණෑගල පැවති පොදුජන පෙරමුණේ ජනහමුවක දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදුකල ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රීලනිප පාර්ශවය මේ බව සඳහන් කර සිටියි.

එහිදී හිටපු ජනාධිපතිවරයා දක්වා තිබූ අදහස් මෙසේය.

“හැමෝම කියනවා දැන් මට නඩු දාන්න කියලා. මම දැන් ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකක් යවන්න ලෑස්ති කරලා තියනවා. පක්ෂයෙනුත් යනවනවා. මේක පක්ෂයට දුන්නා කියලනේ චෝදනා කරලා තියෙන්නේ. මගේ සාක්කුවට දුන්නා කියලා නෑනේ. එතකොට පක්ෂය විසින් අනිවාර්යෙන්ම , එතකොට නීතීඥවරුන්ට අපි දැන් උපදෙස් දීලා තියනවා, කොහොම ද කරගෙන යන්නේ කියලා.”

නඩු දමන සූදානමක් ගැන දන්වා නෑ 

ඒ අනුව අප මෙම විමසීම සිදුකළ අතර එහිදී ශ්‍රීලනිප පාර්ශවය මෙන්ම නිදහස් සන්ධාන පාර්ශවයත් සඳහන් කර සිටියේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට එරෙහිව නීතිමය කටයුතු සිදුකරන ලෙස කිසිඳු දැනුම්දීමක් මහින්ද පාර්ශවය වෙතින් සිදුව නැති බව තමන් වගකීමෙන් යුතුව සඳහන් කරන බවය.

එසේම එල්ලවී බරපතල චෝදනාව හමුවේ හිටපු ජනාධිපතිවරයා නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය විකෘති කරමින් ජනතාව නොමග යැවීමේ ධීන උත්සාහයක නිරත වන බවද එම පාර්ශවය සඳහන් කර සිටියි.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය තුළ කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ එකසත් ජනතා නිදහස් සන්ධානයට චීන සමාගම මුදල් ලබාදීමක් ගැන සඳහන්ව නොමැති බවය.

නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණයේ අදාළ කොටසේ වන සිංහල පරිවර්තනය මෙසේය.

මේ පුවත්පතට දැක ගැනීමට ලැබුණු එක්තරා වාර්තාවකට අනුව, ස්ටැන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුවේ තිබෙන ‘චයිනා හාබර් සමාගමේ’ ගිණුමකින්, අඩු වශයෙන් ඩොලර් මිලියන 7.6 ක් රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යපාරයේ සිටි සගයන් වෙත බෙදා හැර තිබේ. ‘චයිනා හාබර් සමාගමේ’ බැංකු ගිණුම් අංකය සහ එම ගිණුමෙන් නිකුත් කරන ලද චෙක්පත් ලාභීන්ගෙන් ලබා ගත් තොරතුරු ආදිය ඒ වාර්තාවේ සඳහන් වෙයි.

ජනාධිපතිවරණය පැවැත්වීමට දින 10 ක් තිබියදී ඩොලර් මිලියන 3.7 කට ආසන්න මුදලක් චෙක්පත් මාර්ගයෙන් බෙදා දී තිබේ. එයින් ඩොලර් 678,000 ක් ඡන්ද ව්‍යාපාරයේ ටී-ෂර්ට් සහ වෙනත් ප්‍රවර්ධන කටයුතු සඳහා ය. ඩොලර් 297,000 ක් ලබා දී ඇත්තේ, ආධාරකරුවන්ට තෑගි බෙදා දීම සඳහා ය. ගැහැනුන් සඳහා සාරි ද ඊට ඇතුළත් විය. රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා වැඩ කරමින් සිටි එක් ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමකටත් ඩොලර් 38,000 ක් ගෙවා තිබේ. තවත් ඩොලර් මිලියන 1.7 ක් වටිනා චෙක්පත් දෙකක්, අරලියගහ මන්දිරයට කෙලින්ම භාර දී ඇත.

මේ ගෙවීම්වලින් වැඩි හරියක් සිදුකොට ඇත්තේ, ‘චයිනා හාබර්’ මගින් හසුරුවන ලද අතුරු ගිණුමක් හරහා ය. එම ගිණුමේ නම, “එච්.පී.ඩී.පී. දෙවැනි අදියර” යන්නයි. එච්.පී.ඩී.පී. යනු ‘හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය’ යන්නයි.

එසේම ඔවුන් පෙන්වා දෙන ආකාරයට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනය හරහා නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය හරහා එල්ල කල  නිශ්චිත චෝදනා වලට පිළිතුරු ලබාදී නැත. ඒ බව දේශපාලන විචාරකයින්ද පෙන්වා දෙයි.ඔවුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ නිවේදනයද උපුටා දක්වමින් මෙසේ සඳහන් කරයි.

ඒ අනුව මහින්ද මහතාගේ නිවේදනය තුළ ටයිම්ස් චෝදනාවට පිළිතුරු ලබාදී ඇත්තේ,

“චයිනා හාබර් සමාගම මාගේ 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා කිසිදු මුදලක් පරිත්‍යාග කලේ නැත. මගේ ‘සගයන්’ හා ‘මැතිවරණ ව්‍යාපාරයේ නියැලෙන්නන්ට’ එම මුදල් ලබා දී ඇති බවත්,‘ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අය’ විසින් අදාල චෙක්පත් අරලිය ගහ මන්දිරයට ගෙනගොස් දුන් බවත් කීවද, නිව්යෝක් ටයිම්ස් පුවත්පත මේ මුදල් හරියටම ගත්තේ කවුද, දුන්නේ කවුද යන කාරණා සම්බන්ධයෙන් සිතා මතාම අපහැදිලි වදන් භාවිතා කොට ඇත. මෙය වගකීමක් නොගෙන මඩ ගැසීමේ ක්‍රමයක් හැටියට අපි දකිමු. “යන කොටසින් පමණය.

එහෙත් එල්ලවී ඇති චෝදනා ඊට වඩා බරපතලය

ඔවුන් පෙන්වා දෙන ආකාරයට අදාළ අනාවරණයේ සෘජු   චෝදනාව මහින්දටය. ඒ හම්බන්තොට වරාය ඉදිකිරීම් භාරව සිටි චීන සමාගම 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂට ඇමරිකානු ඩොලර් මිලියන 7.6ක් ලබාදී ඇති බවය. රුපියල් වලින් නම් ඒ ලක්ෂ එකොලොස් දහස් හාරසියයකට අධික මුදලක්ය.

එසේම ප්‍රසිද්ධ හිමිනමකට ඩොලර් තිස් අට දහසක්, ප්‍රචාරණ ටී ෂර්ට් සඳහා ඩොලර් හයලක්ෂ හැත්තෑ අට දහසක්, ආධාර කරුවන්ට තෑගී ලබාදීම සඳහා ඩොලර් දෙලක්ෂ අනුහත් දහසක් ලබාදී ඇති බවද නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණයේ දැක්වේ. එපමණක් නොව මෙසේ රාජපක්ෂ සහ සමාගමට මුදල් නිකුත් කල බැංකු ගිණුම් පවා එම වාර්තාවේ ඇතුලත්ය.

ගොඩහේවා කියන දේවල් විශ්වාස කරන්නේ කවුද ?

මේ චෝදනා  හමුවේ  රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කරන්න ඉදිරිපත්ව සිටින්නේ ද රාජපක්ෂ සමයේ දුෂණ චෝදනා නිසා ඇප මත නිදහස් වූ  නාලක ගොඩහේවා වැනි උදවියය. ඔවුන් කියන්නේ නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය මඩක් බවය. ඉතින් මහින්ද මහත්තයාද කියන්නේ “ඔය මඩනේ”  කියාය. නිවේදනයේ බොහෝ වචන තිබුණද නිශ්චිතව පිළිතුරු සැපයීම වෙනුවට කර ඇත්තේ වචන යොදා චෝදනා කෙරෙහි ඇති ජනතා අවධානය වෙනතක යොමු කරන්නටය.

චෝදනාව කොතරම් බරපතල වුවත් මහින්ද මහත්තයා නිශ්චිත ප්‍රශ්න මඟහැර  ඇති නිසා ටයිම්ස් අනාවරණයේ ඇත්ත නැත්ත අපටම හොයාගන්න සිදුව ඇත.

BOO / BOT  ක්‍රමය අනුගමය නොකළේ ඇයි ?

සංවර්ධිත රටවල් වරාය හා ගුවන්තොටුපල ඇතුළු මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යොදවන්නේ  තම රටේ මුදල් ය. ඒ  ඔවුන් සතු ආර්ථික හැකියාව නිසාය.  එහෙත් සංවර්ධනය වෙමින් පවතින අප වැනි රටවලට එවැනි හැකියාවක් නැත. එහෙත්  එවැනි රටවලට  තම ආර්ථික අවශ්‍යතා වෙනුවෙන්  විශාල පරිමාණ යටිතල පහසුකම් ඇතිකර ගන්න ක්‍රමයක් ඇත.   ඒ   විදේශ රටවල ආයෝජන සහිත  ඒකාබද්ධ ව්‍යාපාර වශයෙන් ගිවිසුන් ගතවීම හරහා ය. නැතිනම්  ගොඩනගා,පවත්වාගෙන ගොස් පසුව අයිතිය පවරනු ලබන BOO / BOT  ක්‍රමයටය.

ණය උගුල් වල වැටෙන්නේ නැතිව අප වැනි කුඩා රටවලට ණය බරින් තොරව ප්‍රතිලාභ ලබන්නට දැනට ඇති යහපත්ම ක්‍රමය මේකය.

නමුත් ප්‍රශ්නය ඇත්තේ දේශප්‍රේමී මහින්ද මහත්තයා මේ ඒකාබද්ධ ක්‍රමය අනුගමනය නොකිරීමය. හම්බන්තොට  වරාය හදන්න මහින්ද ණය ගත්තේ චීන එක්සීම් බැංකුවෙන් ය. වරායේ ඉදිකිරීම් කරන්න ඒ ණය නැවත දෙන්නේද චයිනා හාබර් සමාගමටය.

චෝදනාවේ බරපතලකම දැන්වත් තේරෙනවාද ?

2015 ජනාධිපතිවරණය වෙනුවෙන් ඩොලර් මිලියන 7.6ක් මහින්දට දෙන්නේද චයිනා හාබර්  සමාගමය.

ලෝක බැංකුවේ අනාවරණය 

චයිනා හාබර් සමාගමේ මව් සමාගම වන චයිනා කොම්යුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගමට 2009 වසරේ සිට වසර හතක කාලයක් සඳහා ලෝක බැංකුවේ කිසිඳු ව්‍යාපෘතියකට ලංසු තැබීම තහනම් ය.  ඒ අදාළ සමාගම පිලිපීනයේ සිදුකල දුෂිත ගනුදෙනුවක් නිසාය.

බංගලාදේශයේ චයිනා හාබර් පැටිකිරිය 

එසේම 2018 වසරේ සිට චයිනා හාබර් සමාගමට බංගලාදේශය තුළ සිදුකරන කටයුතු නවත්වා ඇත. ඒ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් බංගලාදේශ නිලධාරියෙකුට ඩොලර් ලක්ෂයක අල්ලසක් දීම නිසාය.

රාජපක්ෂලා අධික පොළියට ණයක් ගෙන 2008 වසරේ  හම්බන්තොට වරාය හදන්න දෙන්නේ මෙන්න මේ චයිනා හාබර් සමාගමටය. ඒ අනුව නම් පෙනී යන්නේ රාජපක්ෂලා කියූ  ඇඟට දැනෙන සංවර්ධනයේ ඇත්ත තේරුම රට උකස් කරමින් ගත්ත ණයට  ලැබුණු කොමිස් මුදලේ  ප්‍රමාණය බවය.

එසේම මේ වන විටත් ස්වීඩන් රූපවාහිනිය විසින් මහින්ද පාලනය යටතේ ලංකාව චීන ණය උගුලට හසුවූ ආකාරය දත්ත සහ විස්තර ඇතුව ඔප්පු කර ඇති බවත් එහෙයින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එම කාරනා වලටද පිළිතුරු දිය යුතුව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here