අර්බුදයට මුල 19 – ශිරාල් ලක්තිලක

    0
    176

    වර්තමානයේ පෙළ ගැසෙන සිද්ධි ජනවාරි අට දේශපාලනයේ දිගුවකි. 2015 ජනවාරි අට සිදුවූයේ සාම්ප්‍රදායික දේශපාලනයේ විකෘතියකි. සාමාන්‍යයෙන් ජනාධිපති ධුරයට තරග කරන්නේ දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකි. එහෙත් එදා තරග කළේ පොදු අපේක්ෂකයෙකි. එ් අනුව එම ක්‍රියාවලිය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සම්ප්‍රදායෙන් බැහැර වුණි. අගමැතිවරයා තෝරා ගත්තේ ද ඒ ආකාරයෙනි. මේ ආකාරයට දිගටම දේශපාලන කටයුතු සිදුවූයේ සාමාන්‍ය ක්‍රියාවලියෙන් බැහැරවය. පසුගිය වසර තුනේදී මෙවැනි සිදුවීම් ගණනාවක් සිදුව අවසන්ව මේ වනවිට අර්බුදයක් නැති අර්බුදයක් නිර්මාණය වී තිබේ. බැලූ බැල්මට ලොකු දෙයක් නැත. එහෙත් අර්බුදයක් තිබේ. මේ අර්බුදය විසඳීමට මැදිහත්වන සෑම අවස්ථාවකම ඒ අර්බුදය තවත් තීව්‍ර වෙමින් තිබේ.

    පෙබරවාරි 10 වැනිදා සිට අද දක්වා සිදුවීම් දාමය දෙස බැලුවහොත් එක් සිද්ධියකින් තවත් සිද්ධියක් ඇති කර තිබේ. පළාත් පාලන ඡන්දයෙන් පරාජය වූ විට එ.ජා.පය ශක්තිමත් කිරීමට නම් අගමැති ධුරය වෙනත් කෙනකුට දිය යුතු යැයි කල්පනා කළේය. විශ්වාසභංගයක් ගෙනැවිත් දහසය දෙනකු ශ්‍රී.ල.නි.ප පාර්ශ්වයෙන් අහිමි වුණි. ඒ දහසය දෙනා ශ්‍රී.ල.නි.පයේ සිටින බව කියා සිටිය ද ඔවුහු මහින්ද රාජපක්ෂ මහතාට ගොනුවෙමින් සිටිති. මේ ආදී වශයෙන් එකකින් තවත් අර්බුද ගණනාවක් නිර්මාණය කරන තත්ත්වයක් ඇති වී තිබේ. මේ නිසා එක් පැත්තකින් දේශපාලනය ව්‍යාකූලත්වයකි. ඒ වගේම දේශපාලනයේ තිබිය යුතු සුජාතභාවය ද අහිමි වී තිබේ.

    මෙයට සමගාමීව දේශපාලනඥයන්ගේ කියුම්කෙරුම් එළියට එමින් තිබේ. බැඳුම්කරයෙන් මුදල් ගත් අය සම්බන්ධයෙන් එක් ධාරාවකින් ප්‍රකාශ වී තිබේ. ඒ අයගේ විශ්වසනීයත්වය නැතිවෙමින් තිබේ. මුලින් රාජපක්ෂවරුන්ට දොස් නඟමින් සිටි අතර පසුව එය එ.ජා.ප. ය දෙසට හැරුණි. නිව් යෝර්ක් ටයිම්ස් සිද්ධියත් සමඟ බෝලය නැවතත් රාජපක්ෂවරු දෙසට පාස් වී තිබේ. මේ අනුව සමස්තයක් ලෙස දේශපාලනය පිළිබඳ ජනතාවට ඇති විශ්වාසය කඩා වැටී යම් ව්‍යාකූල, අරාජික තත්ත්වයක් දේශපාලන වශයෙන් ​ගොඩනැඟෙමින් තිබේ.

    මෙයට පිළියම් සෙවීමේදී කළ යුත්තේ කුමක්ද යන ප්‍රශ්නය ජනතාව මතු කරමින් සිටිති. ඒ සඳහා පේනතෙක් මානයක ඇත්තේ අලුත් ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන් සිතීමය. ජනාධිපතිවරණයක් ගැන සිතීමටත් දැන් කල් වැඩිය. එහෙත් එසේ සිතීමට ගොස් ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි අය අමාරුවේ වැටී සිටිති. කාලයට කලින් ජනාධිපති අපේක්ෂකයකු ප්‍රක්ෂේපණය කිරීමට යාමේ ප්‍රතිඵලයක් වශයෙන් ගෝඨභය රාජපක්ෂට තිබූ අවස්ථාව කඩා වැටී තිබේ. කෙසේ වුවත් මේ තත්ත්වයම ඉදිරියටත් යනු ඇත. ජනවාරි අට ඇති වූ රිද්මයේ අස්ථාවරත්වය දිගටම ගමන් කරන බව මාගේ අදහසය.

    මේ රිද්මය වෙනස් කිරීම නොහැකි වී ඇත්තේ ඇයි දැයි යම් කෙනෙකු ප්‍රශ්න කරන්නට පුළුවන. අලුත් ​ලෝකයේ කතාකරන්නේ ඇල්ගෝ රිදම්ස් ගැනය. ජනවාරි අට එක් සංඛ්‍යාත පරාසයක් නම් අප උත්සාහ කරන්නේ ඒ ඔස්සේම ගමන් කිරීමටය. සරලව කියන්නේ නම් යහපාලන දේශපාලනයයි. යහපාලන දේශපාලනය දැන් අවසන් බව මාගේ මතයයි. එ​ෙස් නම් අප අලුත් ඇල්ගෝ රිදම් එකක් ආරම්භ කරන්නේ කෙසේද? එවැන්නක් කිරීමට තිබෙන ලොකුම ප්‍රශ්නය වන්නේ අවස්ථා සහ ඒ අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට සිටිනා දේශපාලන නායකයන් යන කොටස් දෙකම පිළුණුවීමය. මේ නිසා අලුත් අවස්ථාවක් දෙසට මහජනතාව පොළඹවාලීමට හැකියාවක් නැත. මේ තත්ත්වය යටතේ ජනතාව වික්ෂිප්තව සිටිති. දේශපාලනය, සංවර්ධනය පවා වික්ෂිප්තව තිබේ.

    මුලින් බිහි වූ දේශපාලන විකෘතියේ මුල් කාලයේදී යම් ඉදිරිගාමී බවක් තිබුණි. ඇතිවීමට යන්නේ කුමනාකාර තත්ත්වයක්ද යන්න සම්බන්ධව මානසිකව කිසිවකු සමවැදුනේ නැත. 2011 ආණ්ඩුව සහ එය බිඳ වැටීම පිළිබඳ අත්දැකීමක් ලක් සමාජයට තිබුණි. එයින් අත්දැකීමක් ගෙන ජනවාරි 08 ආරම්භයට පිළියම් සෙවීමට මනසින්වත් යොමු වූයේ නැත. ආරම්භයේදී සිටියේ පක්ෂයකින් අගමැතිවරයකුත් පක්ෂයක් නැති ජනාධිපතිවරයකුත්ය. එහෙත් සති දෙකකට පසු එක් පක්ෂයක අගමැතිත් තවත් පක්ෂයක ජනාධිපතිවරයකුත් සිටින තත්ත්වයට පත්වුණි. මෙය බල කේන්ද්‍රීය තත්ත්වයකි. එවැනි පසුබිමකදී නිසර්ගයෙන්ම මේ කේන්ද්‍ර දෙක බල තරගයකට ඇදෙන්න තිබෙන ඉඩකඩ වැඩි බව අනුමාන කළ යුතුව තිබුණි. එසේ කළා නම් අන්තර්ජාතික උදාහරණ හරහා මෙයට පිළියම් සෙවීමට අවකාශ තිබුණි.

    ප්‍රංශ ක්‍රමය එයින් එක් ක්‍රමයකි. ප්‍රංශයේ ජනපති සහ අගමැති පක්ෂ දෙකකින් පත්වූ විට ඔවුන් දෙදෙනා අතර බල සම්මුතියක් ඇතිකර ගනු ඇත. රාජ්‍යයේ ජනාධිපතිවරයා හසුරුවන බලතල මොනවාද? අගමැතිවරයා හසුරුවන බලතල මොනවාද යන්න ඒ අනුව නිශ්චය කරගනු ඇත. අපට එවැනි අලිඛිත අදහසක් තිබුණ ද නිශ්චිත ගිවිසුම්ගත වීමක් වුණේ නැත. ශ්‍රී.ල.නි.ප සහ එ.ජා.ප.ය අත්සන් කළ ගිවිසුමේත් මෙවන් කරුණු තිබුණේ නැත. මේ පසුබිම යටතේ 19 වැනි සංශෝධනයෙන් අගමැතිවරයාගේ බලතල වැඩි වුණි. ජේ.ආර්. ගේ කාලයේ තමන්ට පියන් කෙනකුගේවත් බලතල නොතිබූ බව ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබුණි. එය ඒ ආකාරයටම ජනපති මහින්ද යුගය අවසන් වන තෙක්ම පැවතුණි. ඒ දක්වාම අගමැතිවරයකුගේ බලය නාමිකය. එහෙත් 19 වැනි සංශෝධනයෙන් එම නාමික අගමැතිවරයා විධායක අගමැතිවරයකු බවට පත් වුණි. විධායක ජනපති අර්ධ නාමික ජනපතිවරයකු බවට පත්වුණි. විධායක ජනපතිවරයකු සිටින බව ජනතාව සිතුව ද එවන් අයකු නැත. මෙයට සමගාමීව අලුත් විධායක අගමැතිවරයා බලතල පාවිච්චියට යොමු වූයේය. මෙයින් ජනපතිවරයා වටකර තිබේ. තමන් ආක්‍රමණය කරන බවට ජනපතිවරයාට සිතීමට මේ පසුබිම බලපෑවේය. ආක්‍රමණයක ප්‍රතිඵලය වන්නේ ප්‍රතිපත්තිමය හැලහැප්පීම්ය. වැට් සිද්ධියේ සිට අලි ඉවත් කිරීමේ ප්‍රතිපත්තිමය තීන්දුව දක්වා අැමැති මණ්ඩලයෙන් ගන්නා තීන්දු සහ ජනපති ගන්නා තීන්දු අතර පරස්පරයක් ඇති වුණි. ගිවිසුමක් නොතිබීමේ සහ ප්‍රතිපත්තිමය ගැටුම් නිරාකරණයේ යාන්ත්‍රණයක් නොතිබීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ තත්ත්වය පෙන්වාදීමට හැකිය. මේ තුළ සමාජය ඉදිරියට දෙන්නේ අරාජිකවාදයයි. මේ ආණ්ඩුවට පණ නෑ, ආණ්ඩුව වැඩ කරන්නෙ නෑ, ජනපති බලතල පාවිච්චි කරන්නේ නෑ යනාදී කතා ජනතාව කියන්නේ මේ නිසාය.

    ජනතාව සිතන එක දෙයක් ​ෙහා් කිරීමට තරම් වූ ව්‍යුහයක් හෝ කාර්ය පටිපාටියක් 19 වැනි සංශෝධනය තුළ තිබුණේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉහළ තනතුරකට යම් අයකු පත් කළ පසු යම් විනය විරෝධී වැඩ කළොත් ඔහුව ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපාදන නැත. ඒ නිසා බරපතළ ව්‍යවස්ථානුකූල අරාජිකභාවයක් ද ඇති කර තිබේ. දුරදිග නොබලා 19 වැනි සංශෝධනයට ඇතුළත් කළ ඇතැම් ප්‍රතිපාදන මගින් අද අප සිටින තත්ත්වයට තල්ලු කර තිබේ.

    මේ පසුබිම යටතේ සියල්ල අර්බුදයකය. දේශපාලන පක්ෂ උදාහරණයකි. එ.ජා.පය වගේම ශ්‍රී.ල.නි.පයත් අර්බුදයකය. දේශපාලන බලවේගයක් වශයෙන් රාජපක්ෂ කණ්ඩායමත් අර්බුදයකය. ජ.විපෙත් අර්බුදයකය. මේ සෑම නායකයකුම අර්බුදයක සිටින බව අමුතුවෙන් කිවයුතු නැත. 20 වැනි සංශෝධනය යථාර්ථයක් නොවුණහොත් ජ.වි.පෙ නායකයා අර්බුදයකය. ආර්ථිකය කළමනාකරණයට ​ෙගාස් එහි ප්‍රතිඵල ලබාගැනීමට නොහැකිව රනිල් වික්‍රමසිංහ මහතා අර්බුදයකය. ශ්‍රී.ල.නි.පය යථාර්ථවාදී දේශපාලන බලවේගයක් කිරීමට ​නොහැකි වීමේ අර්බුදයකට ජනාධිපතිවරයා මැදිව සිටී. බලවේග ගණනාවක් එකතු කරගෙන ඒවායෙන් කේන්ද්‍රීය බලවේගයක් ගොඩනැගීමට නොහැකිව මහින්ද රාජපක්ෂ සිටින්නේද අර්බුදයකය. විග්නේෂ්වරන්ගේ අභියෝගය හමුවේ සම්බන්ධන් මහතා සිටින්​ෙන්ද අර්බුදයකය. පක්ෂත් ඒවාගේ නායකයනුත් අර්බුදයක සිටින අතර රාජ්‍යකරණයේ ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත සමාජයත් අර්බුදයකය. එහෙත් මෙය අර්බුදයක් නැති අර්බුදයකි. තිබෙන්​ෙන් පුද්ගල කේන්ද්‍රීය කණ්ඩාය​ම් කේන්ද්‍රීය ප්‍රශ්නය. එහෙත් ඒවායේ පිටත ගලායම් අර්බුදය තීව්‍රකර තිබේ.

    මේ නිසා ගන්නා වූ ප්‍රතිපත්ති දුර්වල කරමින් තිබේ. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම උදාහරණයකි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ මුදල් බැඳුම්කරයේ ආයෝජන ප්‍රශ්නය තවත් එකකි. එල්.එන්.ජී. ටෙන්ඩරය ප්‍රදානය පිළිබඳ ප්‍රශ්නය තවත් උදාහරණයි. මේ සෑම කාරණයක්ම සරල ප්‍රශ්න නොවේ. දිගින් දිගටම මතුවන්නේ සුජාතභාවය පළුදු කරන ප්‍රශ්නය. මේ ප්‍රශ්න දෙස බැලීමට බුද්ධිමත් සමාජයක් මෙරට නැත. සිටින්නේ පාට කණ්ණාඩි පැළඳගත් බුද්ධිමතුන්ය. මේ නිසා මධ්‍යස්ථව මතයක් විකාශය කිරීමට හැකියාවක් නැත.

    සාමාන්‍යයෙන් ඕනෑම වෙළෙඳ ගිවිසුමක් අවාසි සහගතය. තිබෙන්නේ සාපේක්ෂ වාසියකි. චීනය සමඟ වෙළඳාමේදී අප බිලියනයක වෙළෙඳාමක් කරන විට චීනය බිලියන 30ක වෙළෙඳාමක් කරනු ඇත. සිංගප්පූරු ගිවිසු​මේදී ද එසේ විය හැකිය. මෙහිදී අප බැලිය යුත්තේ පරිමාව නොවේ. අපට කොතරම් සාපේක්ෂ වාසියක් ලැබෙනවාද කියාය. සේවා නිදහස් කිරීමේදී රටක් වශයෙන් ගත යුතු තීන්දු ගෙන නැත. මෙය කැපී පෙනෙන්නේ ඒ නිසාය. එහෙත් මෙය නොකළ යුතු යැයි තර්ක කිරීමට කිසිවකුටත් නොහැක. සෑමවිටම නිදහස් වෙළෙඳාම නරකය. එහෙත් එම වෙළෙඳාම කරන විට යම් වාසියක් අපට ලැබෙන බවද අමතක නොකළ යුතුය.

    දූෂණය පිළිබඳ ප්‍රශ්නයේ නිමාවක් නැත. මහබැංකු වංචාවේ අතුරු පාරවල් දිගින් දිගටම මතුවෙමින් තිබේ. යම් යම් ආයෝජන සම්බන්ධයෙන් තීන්දු ගත් ආකාර නිශ්චිතව ජනතාවට කිව යුතුය. එල්.එන්.ජී. ටෙන්ඩරය සම්බන්ධ ප්‍රශ්නයක් මතු වුණි. යම් මිල සන්සන්දනයකදී වැට් ඉවත් කර එය කළ යුතු බව ජාතික ප්‍රසම්පාදන නීති සංග්‍රහයේ පැහැදිලිව දක්වා තිබේ. එසේ තිබියදී එක් අයකුට වාසි සහගතව හෝ අවාසි සහගතව වැට් අඩු කිරීම හෝ එකතු කිරීම භාවිත කරනවා නම් එතැන වංචාවක් තිබේ. එය අසාධාරණය. මෙයින් වෙන්නේ විදේශ රටවල්වලට සහ අපේ සමාජයට මේ ක්‍රමය සම්බන්ධයෙන් විශ්වාසය නැතිවීමය. අවසානයේදී රටේ විශ්වාසනීයත්වය කඩවනු ඇත. එනිසා සෑම දිනකම සිදුවන සිද්ධිවලින් සුජාතභාවය ටික ටික නැති වී ගොස් තනි තනිව වැඩ කරන තත්ත්වයට පත්වනු ඇත. කිසිවකුත් විශ්වාස නොකරන පරිසරයක් නිර්මාණය වන්නට පුළුවන. මගේ පහසුව මමම සොයා ගන්නවා කියන ආත්මාර්ථකාමී තැනකට අපේ සාමාජය තල්ලු වන්නට පුළුවන.

    පාතාලය මෑත කාලයේ ඉදිරියට පැමිණි මාතෘකාවකි. පසුගියදා ඉදිරියට පැමිණි විජයකලාගේ ප්‍රකාශය සමඟ මේවා යටපත් වූවද කාරණාව එලෙසමය. පාතාලය මර්දනය ​ෙනාවන්නේ දේශපාලන හස්තයේ බලපෑම නිසා බවට හැගෙන චෝදනාව පිළිගත නොහැක. චණ්ඩියකුවත් තබාගත හැකි අයකු මේ ආණ්ඩුවේ නැත. ප්‍රශ්නය එය නොවේ. පොලිසින් සංකල්පය පැමිණෙන්නේ ස්කොට්ලන්ඩ්යාඩ් හරහාය. පීලියන් ප්‍රතිපත්ති යනුවෙන් මෙය හැඳින් වුණි. මුලින්ම මහජන විශ්වාසය ගොඩනගාගත යුතුය. පොලිසියට තොරතුරු ලැබෙන්නේ එම විශ්වාසය මතය. මෙරට පොලිසිය කාර්යක්ෂම යාන්ත්‍රණයක් බවට පත්ව නැත. අපරාධ ඇල්ලීම පවරන්නේ විශේෂ කාර්ය බලකායටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන්නේ කුමක්ද? ඔවුන් කරන්නේ ඉහළ වංචා ඇල්ලීම පමණද? පොලිසියෙන් ගවේෂණය නැති වී ගොසිනි. යුද්ධය අවසන් වනතෙක් පොලිසියේ ගවේෂණය නැති වී ඔවුන් සිටියේ මුරටය. අද කරන්නේ ​ෙද්ශපාලනඥයන් මුර කිරීමය. එනිසා පොලිසිය නැවත පරීක්ෂකයන් තත්ත්වයට පත්කළ යුතුය. ​ෙපාලිස් පරීක්ෂකයන් නැති මුරකරුවන් සිටින දෙපාර්තමේන්තුවක් ලංකා​වේ නිර්මාණය වී තිබේ. මේ තත්ත්වය වෙනස් කළ යුතුය.

    මත්ද්‍රව්‍ය සමාජයේ ප්‍රධාන මාතෘකාවකි. ලංකාවේ කේරළ ගංජා ජාවාරම් පාලනය වන්නේ උතුරෙනි. මෙහි තොරතුරු පොලිසිය සතුව නැතුවා ​ෙනාවේ. එහෙත් විවිධ හේතු නිසා මෙයට එරෙහිව පියවර ගන්නේ නැත. කේරළ ගංජා ව්‍යාපාරය නැති කළොත් ඒ සමඟ සම්බන්ධ අනෙක් ආදායම් ක්‍රමද අහිමි වනු ඇත. මුලින් කළ යුත්තේ ජලයේ සිටින මාළුවාට ඔක්සිජන් ලැබෙන ක්‍රමය නතර කිරීමය. කේරළ ගංජා, හෙරොයින් සහ නීතිවිරෝධී වෙනත් ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් මෙරට තිබේ. චීන නේවාසිකයන් නිසා ලංකාවේ වන සංරක්ෂණ අපරාධ වැඩි වී තිබේ. චීනුන්ගේ ඉල්ලීමට දිවියන් මැරීම එක් උදාහරණයකි. මේවා හරහා සංවිධානාත්මක අපරාධ වැඩි වනු ඇත. පොලිසියේ වගකීම වන්නේ අපරාධ සෙවීම මෙන්ම ඒවායේ මූලාශ්‍ර වන ව්‍යාපාර පැවැත්ම කඩා දැමීමය. එය නොකර නිකරුණේ මධූෂ්ලා, සුභාෂ්ලා පසුපස එළවීමේ පලක් නැත.

    නීතිය තවත් පැත්තකි. අපරාධකරුවකු පිටරට සිටිනවා නම් නීතිපති දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව කළ යුත්තේ උදර්පණය පිළිබඳ නීති දැඩි කිරීමය. ද්විපාර්ශවික සබඳතා වැඩිකර ගැනීමය. ගිවිසුම්වල තිබෙන හිඩැස් නැති කිරීමය. එවැනි කිසිවක් නොකර විසිවැනි සියවසේ අත්දැකීම්වලින් විසිඑක් වැනි සියවසේ අපරාධ මැඬලිය හැකි යැයි සිතිය නොහැක.

    පවත්නා මේ සමාජ, දේශපාලන, ආර්ථික, පරිසරය කණපිට පෙරැළිය යුතුය. ඒ ගැන වාදයක් නැත. 21 වැනි සියවසේදී අලුත් පරම්පරාවකට බලය අවශ්‍යය. 20 වැනි සියවසේ වයසක අයගේ බලය මේ රට පාලනය කළා හොඳටම ප්‍රමාණවත්ය. ​ලෝකයේ බලයට පත්වෙමින් සිටින්නේ තරුණ ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන්ය. උදාවී තිබෙන්නේ අපේ පරම්පරාවට බලය අවශ්‍ය කාලයකි. ඒ පරම්පරාව බලයට එනවිට අලුත් දෘෂ්ටියකින්, අලුත් දැක්මකින් අලුත් පිවිසුමකින් රට පාලනයට යොමු වනු ඇත. දේශපාලනඥයා ලෙස අප දකින්නේ දවල් මිගෙල් රෑ දනියෙල් චරිතයකි. රටට කුමක් වුවත් ඔහුට ප්‍රශ්නයක් නැත. මාධ්‍ය ඉදිරියට පැමිණ බොරු කියා ජනතාව ප්‍ර​කෝපකර ආවේගශීලි කර තමන්ගේ වැඩ කරගනු ඇත. පාලක පන්තියක් ඇතුළේ පාලක පන්තියක් බිහිවීම එදා දේශපාලන සමාජයම ඔලිගාකියක් ලෙස හැඳින්වුණි. එහෙත් දැන් දේශපාලන සමාජයම ඔලිගාකියක් බවට පත්ව තිබේ.

    ඡන්දයෙන් පත්වන සියලු දෙනා ජනතාව වෙනුවෙන් වැඩ කරනවා කියමින් කරන්නේ වෙනත් වැඩකි. සුජාතභාවයට තිබෙන ප්‍රශ්නය එයයි. ජනතාවට මෙය වෙනස් කරගත නොහැක. පත්වන පුද්ගලයාගේ අරමුණ පාර්ලිමේන්තුවේ සිටිමින් රටට හොඳක් කිරීම නොවේ. තමන් ධනවත්වීමත් රට දුප්පත් කිරීමත් මොවුන්ගේ කාර්යය වී තිබේ. ප්‍රශ්නය එයයි. රට ධනවත් කිරීමට කිසිදු උත්සාහයක් නැත.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here