සාමයෙන් කටයුතු කරන්න ජනපති යෝජනාවට පක්ෂ නායකවරු කැමති වෙති

0
67

පාර්ලිමේන්තුව ඉතා සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොරව ඉදිරියට ගෙන යාමට ඊයේ (18) පැවැති සර්ව පාක්ෂික හමුවේදී සියලුදෙනා එකඟතාව පළකරනු ලැබීය.

පාර්ලිමේන්තුවේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමට කැඳවූ සර්ව පාක්ෂික හමුව දීර්ඝ ලෙස පැය දෙකකට ආසන්න කාලයක් ඉතා සුහදව සහ මිත්‍රශීලී ලෙස ඊයේ (18) සවස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී සුදුසු තීරණයක් ගැනීමටත් පාර්ලිමේන්තුව තුළ ඉතා සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොරව කටයුතු කිරීමටත් මෙහිදී සියලුදෙනා එකඟතාවයක් ඇතිකරගනු ලැබීය.

අද(19) පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයේ දී කිසිඳු කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටට ජනතාව රැගෙන නොඑන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉල්ලා සිටී.
ජනාධිපතිතුමා මෙම ඉල්ලීම සිදුකළේ ඊයේ(18) පැවැති සර්ව පාර්ශවික හමුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්ය.
ආණ්ඩු පක්ෂය හා විපක්ෂය විසින් විශාල වශයෙන් පාර්ලිමේන්තුව ආසන්නයට ජනතාව කැඳවීමට සැලසුම්කර ඇති බව, තමාට ආරංචි වී ඇති බවත් ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
එසේ වුවහොත්, විශාල මත ගැටුමක් ඇතිව අනවශ්‍ය සිදුවීම් ඇතිවිය හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.
මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් වළක්වාගෙන පාර්ලිමේන්තුව සාමකාමීව ඉදිරියට පවත්වාගෙන යෑම සැමගේම වගකීමක් බවත් ජනපතිතුමා සදහන් කළේය.
අතිගරු ජනාධිපතිතුමා මෙම හම‍ුවේදී සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේ රජයට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව තමාට තීරණයක් ගැනීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමය භාවිතයෙන් ඡන්ද ගණනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

එය තමාටත් රටේ උගත් බුද්ධිමත් පොදු මහජනතාවට මෙන්ම අන්තර්ජාතිකව ද වඩාත් පිළිගත හැකි ක්‍රමය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රජයක් වෙනස් කිරීම වැනි ප්‍රබල කාරණා පිළිබඳව තීරණයක් ගැනීමේදී ස්ථාවර නියෝගවල සඳහන්ව තිබුණත් මන්ත්‍රීවරුන්ගේ හඬ අනුව බහුතරය තීරණය කිරීම කාලෝචිත නොවන අතර එහි විනිවිදභාවයක් නොමැති බව ද පැහැදිලි කරනු ලැබීය.

සර්ව පාක්ෂික සමුළුවට ආරාධනා ලැබූ සියලු පාර්ශ්ව සාකච්ඡාව නියෝජනය කළ අතර ජනතා විමුක්ති පෙරමුණ පමණක් ඊට සහභාගී නොවන බව ජනාධිපතිතුමාට දන්වා තිබූ අතර, ජනාධිපතිතුමා විසින් ඒ බව සභාවට ප්‍රකාශ කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here