හිතේ මැවෙන දේවල් උසාවියට උස්සගෙන එන්නෙපා…ජනපතිගේ මනස පරික්ෂා කරන්න හැදූ ලෝයර්ට අභියාචනාධිකරණය කියයි

0
24
Judge gavel, scales of justice and law books in court

‘මන–කල්පිතයන්’ මත පිහිටා ක්‍රියාකරමින් කුමන තරාතිරමක හෝ කවර පුද්ගලයකුට වුවද එරෙහිව අත්තනෝමතික ලෙස චෝදනා ගොනු කිරීම සඳහා රටේ උත්තරීතර ආයතනයක් වන අධිකරණය යොදා නොගැනීමට නීතිඥ වෘත්තිකයන්ද ඇතුළුව සෑම සියලු දෙනාම තරයේ මතක තබාගත යුතුව ඇතැයි පෙත්සම්කාරියකට අවවාද කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී්‍රති පද්මන් සූරසේන මහතා ඊයේ (7දා) ප්‍රකාශ කර සිටියේය.

සභාපති විනිසුරුවරයා එලෙස ප්‍රකාශ කර සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ‘මානසික තත්ත්වය’ පිරික්සීම සඳහා පොලිස්පතිවරයාට ‘රිට්’ ආඥාවක් මඟින් නියෝග කරන්නැයි ඉල්ලා සිටිමින් ගොනුකොට තිබූ ‘රිට්’ පෙත්සමක්’ ගාස්තුවටද යටත් කරමින් නිෂ්ප්‍රභ කරමිනි.

ඉහත ‘රිට්’ පෙත්සම කිරිබත්ගොඩ, ඊරියවැටියේ පදිංචි තරංගනී ගුණසේන නීතිඥවරිය මඟින් ගොනුකොට තිබුණේ කොළඹ ශාන්ත බස්තියන් වීදියේ අංක 123හි පදිංචිකාරියක් වන මංචනායක ජයවර්ධන මුදලිගේ තක්‍ෂිලා ලක්මාලි ජයවර්ධන (34) නමැති විවාහක කාන්තාවක් විසිනි.

ඉකුත් දෙසැම්බර් මස 10 වැනි දින අභියාචනාධිකරණය හමුවේ ගොනු කොට ඇති මෙම පෙත්සම ඊයේ සභාපති විනිසුරුවරයා හමුවේ මූලික කරුණු විමසුම සඳහා කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාරියගේ නීතිඥවරිය හෝ වෙනත් නීතිඥ නියෝජනයක් හෝ ඉදිරිපත් නොවූ අතර ඒ සම්බන්ධයෙන් සභාපති විනිසුරුවරයා පෙත්සම් පාර්ශ්වයට දෝෂාරෝපණය කරනු ලැබීය.

බැලූ බැල්මටම මෙම පෙත්සම් විභාගයට ගැනීමට තබා මූලික කරුණු පිරික්සුම සඳහාවත් යෝග්‍ය තත්ත්වයක නොමැති බවත් එළැඹගත් තම නිගමනයක් මත පිහිටා චෝදනාවක් නැඟීමට මිස, කිසිදු සාධනීය කරුණු මත පිහිටා කරුණු ගොනු කිරීමක් එහි අන්තර්ගතව නොමැති බවත් එබැවින් ගාස්තුවටද යටත් කොට එය නිෂ්ප්‍රභ කරන අතර නඩු ගාස්තු වශයෙන් වගඋත්තරකාර පාර්ශ්වය වෙත රුපියල් ලක්‍ෂයක් (1,00,000.00) ගෙවන ලෙසට පෙත්සම්කාරියට නියම කරන බවත් සභාපති විනිසුරුවරයා සිය නියෝගයෙන් ප්‍රකාශ කරනු ලැබීය.

ඉහත පෙත්සම මඟින් ජනාධිපති මන්දිරය පිහිටි කොටුව පොලිස් මූලස්ථානයේ අධිපති ඒ.ඩබ්ලිව්.ඒ. ගෆූර් පළමුවැනි වගඋත්තරකරු ලෙසත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දෙවැනි වගඋත්තරකරු ලෙසත් නීතිපතිවරයා සෙසු වගඋත්තරකරුවන් ලෙසත් නම් කොට තිබිණි.

පෙත්සමෙන් ප්‍රකාශ වූ කරුණු අතරින් ප්‍රධානතම කරුණ වූයේ මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 ජනවාරි 08 වැනි දින රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්වූ දින සිට 2018 ඔක්තෝබර් 26 වැනි දින තෙක් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහදව හා සහයෝගීව රාජ්‍ය පාලන කටයුතු හරියාකාරව සිදු කරගෙන ගිය බවත් එදිනට පසුව ඔහුගේ ක්‍රියා කලාපය ප්‍රශ්න සහගත වූ බවත්ය.

තවද 2018 ඔක්තෝබර් 26 වැනි දින හිටි අඩියේම රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කොට මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා වශයෙන් පත් කිරීමටත් නොවැම්බර් 04 වැනි දින පාර්ලිමේන්තුව 14 වැනි දින කැඳවීමට දින නියම කොට, ඊට දින කීපයකට පසු නොවැම්බර් 09 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටද ක්‍රියා කළ බවත්ය.

ඊටද අමතරව ඔහු විසින් පත් කරන ලද අගමැතිවරයා වන මහින්ද රාජපක්‍ෂ කෙරෙහි විශ්වාසයක් නොමැති බවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 225 දෙනාගෙන් 122 දෙනකුගේ අස්සනින් යුතුව විශ්වාසභංග යෝජනා දෙකක්ම භාර දුන්නද ඔහු ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන 122ක් නොව 225ම අස්සන් කළත් රනිල් අගමැති ලෙස පත් නොකරන බවට පාරම්බාන ලද බවද එහෙත් පසුව ඔහු විසින්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත් කරන ලද බවද,

ඉහත කරුණු කාරණා අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කරනුයේ යම්කිසි මානසික විකෘති ස්වභාවයකින් බවට රටේ බහුතරයක් දෙනා අතර අදහසක් හා අවබෝධයක් පවතින බවද එබැවින් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නීතියෙන් බලය පැවැරී ඇති කොටුව පොලිස් මූලස්ථානාධිපතිවරයාත්, පොලිස්පතිවරයාත් ක්‍රියාත්මක නොවී සිටින හෙයින් මෙවැනි නියෝගයක් මැන්ඩාමුස් රිට් ආඥාවක් මඟින් සිදු කරන ලෙස ඉල්ලා සිටින බවත් පෙත්සම්කාරිය ප්‍රකාශ කර සිටියාය.

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය මඟින් පැවැරී ඇති බලතල ප්‍රකාරව ක්‍රියා කරමින් 1956 අංක 27 දරන පනතින් සංශෝධිත 1873 අංක 01 දරන මානසික රෝග පිළිබඳ ආඥා පනතේ 2 වැනි කොටසේ ප්‍රකාශිතවම සඳහන් කොට ඇති පරිදි ජනාධිපතිවරයාගේ මානසික තත්ත්වය පිළිබඳ කොළඹ දිසා අධිකරණයට වාර්තා කොට අදාළ නියෝගයක් ලබාගෙන මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හමුවට ඔහු ඉදිරිපත් කිරීමට ක්‍රියා කිරීමේ පූර්ණ නීතිමය වගකීම පොලිස්පතිවරයාත්, කොටුව පොලිස් මූලස්ථානාධිපතිවරයාටත් පවරමින් මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද ඇය ඉල්ලා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here