ජයපරාජයන් බොහෝයි…පරාජයන් පරාජය කර ජනතාව ජයග්‍රහණය කරවනවා …ලග්ගල නගරය ජනතාවට දෙමින් ජනපති කියයි

0
31

අදින් සිවු වසරකට පෙර මා මේ රටේ රාජ්‍ය නායකයා ලෙස පත්කර ගනිමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටු කිරීමට ගෙන ගිය වැඩපිළිවෙළේ සාර්ථක මෙන්ම අසාර්ථක වූ අවස්ථා ද තිබූ බවත්, එහි දී ලැබූ ජයග්‍රහණ තවදුරටත් තහවුරු කිරීමට කටයුතු කරනවා සේම ලැබූ පරාජයන් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඉදිරි කාලසිමාව තුළ දී කැපවන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කෙළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කෙළේ ලග්ගල නව හරිත නගරය ඊයේ (8) පෙරවරුවේ ජනතා අයිතියට පවරාදීමෙන් අනතුරුව පැවති ජන හමුව අමතමිනි.

තවදුරටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද අවධාරණය කෙළේය. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස තහවුරු කරමින් සියලු ජාතීන් බියෙන් සැකෙන් තොරව ජීවත්වන සමාජයක් ගොඩනැගීම මෙන්ම නිදහස් මාධ්‍යයක්, ස්වාධීන අධිකරණයක්, අපක්ෂපාති රාජ්‍ය සේවයක් ගොඩනැගීමට සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට පසුගිය සිවු වසර තුළ වැදගත් පියවර රාශියක් ගත්තා.

රට ගොඩනැගීමට ප්‍රබලතම අභියෝගයක්ව පවතින වංචාව, දූෂණය සහ අක්‍රමිකතාවය පිටුදැකීමට පසුගිය සිවු වසර තුළ සුවිශේෂී කැපකිරීමක් සිදු කළා. පසුගිය අත්දැකීම් ආශිර්වාදයක් කර ගනිමින් දූෂණය සහ වංචාව පිටු දැකීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ඔස්සේ අත්වැල් බැඳ ගැනීමට එක් වන ලෙස මා ඉල්ලා සිටිනවා.

අද රටට අවශ්‍ය වන්නේ පක්ෂ පාටවලට බෙදී බලය ගැන පමණක් සිතා පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරන පිරිසක් නොවේ.පොදු න්‍යාය පත්‍රයක් අනුව රට ගැන සිතා කටයුතු කරන පිරිසක් . අලුතින් සිතා, අලුතින් සැලසුම් කර අලුත් ගමනක් යාමට ලැබු නව වසරේ අත්වැල් බැඳ ගන්නා ලෙස මා සියලු දෙනාට ආරාධනා කරනවා.

රජ රට ජනතාවගේ ජල ගැටලුව විසදීම සඳහා මොරගහකන්ද – කළු ගඟ දැවැන්ත වාරි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළා සේම, මට සැබෑ ලෙසම සතුටු විය හැක්කේ උතුරේ ජනතාවගේ ජල ගැටලුවට නිසි විසැඳුමක් ලබා දුන් දිනකයි. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික සමෘද්ධිය මෙන්ම ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි සමාජයක් ගොඩනැගීමේ පුළුල් මෙහෙවර ඉටු කිරීමේ දී ජාතින් අතර සමඟිය සහ සංහිඳියාව ගොඩනැගීමට කළ හැකි සැම කාර්යයක්ම ඉටු කරනවා.

පොදුජන අපේක්ෂාවන් ඉටුකරමින්, සාමකාමී දේශයක් සහ තිරසර සංවර්ධනයක් ගොඩනැගීමේ අරමුණින් 2015 ජනවාරි 8 වැනිදා මෙරට හැට දෙ ලක්ෂයකට අධික ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, සිය ධූරයට පත්ව අදට සිවු වසරක් සපිරේ.

ඒ නිමිත්තෙන් ජනපතිට ආශීර්වාද පළ කරමින් ආගමික වතාවත් ස්ථාන රැසක දී පැවැත් වුණු අතර, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පෙරේදා (7) රැය පහන්වන තුරු ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.අද උදෑසන මහා සංඝරත්නය විෂයෙහි හීල් දානමය පුණ්‍ය කර්මයක් සිදු කෙරිණි.

මේ අතර ඊයේ උදෑසන ජනාධිපතිතුමා සිය කටයුතු ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වමිනි. දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 120 වැනි ඡන්ම දින සැමරුම නිමිත්තෙන් ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අභියස පැවති උත්සවයට එක්වූ ජනාධිපතිතුමා පිළිරුවට මල් කළඹක් තැන්පත් කැර පුෂ්පෝපහාර දැක්වීය.

මෛත්‍රී පාලනයක් – තිරසර යුගයක්, ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින් මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක් විය.

මොරගහකන්ද ජලාශයට සම්බන්ධ අනෙක් මහා ජලාශය වන කළුගඟ ජලාශය ද අද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පවරාදීම සිදු විය.නවීන පහසුකමිවලින් සමන්විත අංග සම්පූර්ණ නව ලග්ගල නගරය එම ජනතාවට හිමි වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රජ රට ජනතාව වෙනුවෙන් දුටු සිහිනයක් ඉටු කරමින් දශක හතරකට පසු මෙරට ඉදි කළ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද- කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතියේ තවත් අතුරු ප්‍රතිඵලයක් ලෙසිනි.

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000 කගේ සේවා අවශ්‍යතා සපුරාලමින් කළුගඟ ජලාශයට යටවන ලග්ගල නගරය වෙනුවට කළුගඟ ජලාශයට නුදුරු ව නව ලග්ගල නගරය ඉදි කැර තිබේ. අනාගත අවශ්‍යතාවයන් සලකා බලමින් හා නව නාගරික සංකල්පය වන, උද්‍යාන නගර සංකල්පයට අනුව මෙම නගරය සැලසුම් කැර තිබෙන අතර, මුළු ආයෝජනය රුපියල් මිලියන 4500 කි.

ලග්ගල නව නගරයේ රාජ්‍ය ආයතන 26ක් සඳහා ගොඩනැගිලි ඉදිකර තිබෙන අතර මහජන සේවා සපයන එම ආයතන සියල්ල එකිනෙකට පහසුවෙන් සම්බන්ධ විය හැකි ආකාරයට සැලසුම් කැර තිබීම විශේෂත්වයකි. ඒ අනුව ඉදි කෙරුණු ලග්ගල නව ප්‍රදේශීය රෝහල ජනතා අයිතියට පවරාදීම සහ පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

එමෙන්ම නව නගරයේ ඉදිකළ නව ප්‍රදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය, ක්‍රිඩාංගනය, වෙළෙඳ පොළ, බස් නැවතුම් පොළ, ගොවි ජන සේවා මධ්‍යස්ථානය, තැපැල් කන්තෝරුව, සෞඛ්‍ය මධ්‍යස්ථාන, මහා මාර්ග පද්ධති ඇතුළු රාජ්‍ය සේවා හා ප්‍රජා යටිතල පහසුකම් ජනතා අයිතියට පවරාදීම මැති ඇමැතිවරුන් අතින් අද සිදු කෙරිණි.

මැති ඇමැතිවරු රැසක් එම අවස්ථාවන්ට එක්ව සිටියහ.මෙම සියලු සංවර්ධන කටයුතු මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්ව සිවු වසරක් සපිරෙන අද දිනයේ ජනතා අයිතියට පත් කිරීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here