තීරණය රට වෙනුවෙන් හෙට සවස 1ට සුගතදාසයේදී

0
174

“තීරණය රට වෙනුවෙන්“ මැයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මහ සමුළුවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (04) පස්වරු 01.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

පසුගිය 26වනදා රාත්‍රියේ රැස්වූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව එහි සංවිධාන කටයුතු සිදු කිරීම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන්, මහ ලේකම්, ජාතික සංවිධායක, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු පිරිසකගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉදිරියේදී පැමිණෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවය. ඊට අමතරව රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වයට මුහුණදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බවද ජනපතිවරයා පවසා ඇත.

කෙසේ වෙතත් පසුගිය ඔක්තෝම්බර් 26 වනදා ජනාධිපතිවරයා රට වෙනුවෙන් ගත් තීන්දුව නිවැරදි බවත් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හොද වන බවත් ඒ පිළිබඳ ශ්‍රීලනිප පාක්ෂිකයින් දැනුවත් කිරීමටත් මෙම විශේෂ මහ සමුළුවේදී කටයුතු කරනු ඇත.

මේ අතර මධ්‍යම කාරක සභාව සඳහා පසුගිය දිනවල පාර්ලිමේන්තු සභාවාරවලට නොපැමිණීම නිසා කතාබහට ලක්වුණු පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද සහභාගි වී ඇත. විශේෂයෙන් ජාතික සංවිධායකවරයා ලෙස තමා සියලු වගකීම් බාර ගනිමින් ඉදිරියටත් ජනාධිපතිවරයා සහ පක්ෂය වෙනුවෙන් සියලු වගකීම් දරමින් කටයුතු කරන බවද දුමින්ද දිසානායක මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here