රනිල් සහ කොටි අතර කෝටි ගණන් ඩීල් ගෙනගිය කවුද මේ පාස්කරලිංගම්?

0
58

1989 – 1990 වර්ෂයේදී මහජනයාගේ බදු මුදල් දස ලක්ෂ එකසිය විසිපහක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් පිටතට ගෙන එල්ටීටීඊ සංවිධානයට ලබාදීම සිදු කළේ එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි වර්තමානයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපදේශකවරයා ලෙස කටයුතු කළ ආර්. පාස්කරලිංගම් මහතා බව ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ බව ඔප්පු කිරීම සඳහා ආර්. පාස්කරලිංගම් මහතා මහා භාණ්ඩාගාරයේ මුදල් ලබාගත් බව සඳහන් වවුචර් පත් තමා සන්තකයේ තිබෙන බවත් එම මුදල් ලබාගෙන ඇත්තේ කොටි ත්‍රස්තවාදීන්ට ලබාදීමට බවට ලලිත් ඇතුළත්මුදලි සහ ගාමිණී දිසානායක මහත්වරුන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ හැන්සාඩ් ගත වී තිබෙන බවත් ඔහු අවධාරණය කළේය.

මුළු ලෝකයම තහනම් කළ ත්‍රස්තවාදී සංවිධානයකට ජනතාවගේ බදු මුදල් මහා භාණ්ඩාගාරයෙන් එළියට අරගෙන ලබාදුන්නේ ආර්. පාස්කරලිංගම් මහතා මිස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවෙන් නොවන බවත් බෙදුම්වාදීන් සහ එජාපය අතර තිබෙන සම්බන්ධය තවම නිම වී නැති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස සිටි අවධියේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස් මහතා සමඟ එක්ව එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානයට මුදල් ලබාදුන් බවට රූපවාහිනි වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශය හැකි නම් ඔප්පු කර පෙන්වන්නැයි බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න මහතාට අභියෝග කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෝ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස් මහතා කොටි සංවිධානය සමඟ කිසිදු ඇයි හොඳයියක් නොපැවැත්වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න මහතා සිදු කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

තමන් ආර්.පාස්කරලිංගම් මහතාට ඉදිරිපත් කළ චෝදනාව සම්බන්ධයෙන් අවධානය යොමු කර වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් දෙමළ ජාතික සන්ධානය මෙම චෝදනාවලින් ආරක්ෂා වීම සඳහා එජාපයට සහාය දෙන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (2දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here